පාප් වහන්සේ ඉල්ලා අස්වුණේ ඇයි? | Why the Pope Resigned

මේ වසරේ සිදු වූ ලෝක ආගමික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් වැදගත් සිද්ධීන් අතරින් ඉහළම වැදගත්කම ඇති සිද්ධිය කුමක්දැයි විමසුවහොත්, ඊට අවිවාදයෙන්ම දිය හැකි එකම පිළිතුර වන්නේ, XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ගේ ඉල්ලා අස්වීම යන්නයි. මේ සිද්ධියේ ඇති බරපතළකම වටහා ගනු පිණිස අපි කෙටි පෙරදැක්මකට යොමුවෙමු.

පාප් වහන්සේ යනු කවරෙක් ද?

පාප් වහන්සේ යනු කතෝලික ලෝකයෙහි ආගමික නායකයාණෝ වෙති. ලොව වැඩිම පිරිසක් විශ්වාස කරන ආගමක නායකයකු ලෙස, මිහිපිට සිටින බලවත්ම ධුරයක් හෙබවීමේ වරම රෝමානු බැසිලිකාවේ අගරදගුරු ධුරය හෙවත් පාප් ධුරය හොබවන කෙනෙකුට හිමි වේ. 

සාමාන්‍යයෙන් මේ ධුරය සඳහා තොර ගනු ලබන කාදිනල් වරයා හොඳ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය තත්වයෙන් ද පසුවිය යුතු අතර, භාෂා ඥානය, දේවධර්ම ඥානය, ජ්‍යෙෂ්ටත්වය වැනි සාධක රාශියක් ඒ සඳහා බලපායි. (පාප් වහන්සේ ඉල්ලා අස්වූ විට ඊළඟ පාප් වහන්සේ අපෙන් පත් වේ යයි සිහින මැවූ පිරිස් ද මේ කොදිව්වේ වූ බව අපි ඔබට සිහිපත් කරන්නෙමු.)

බෙනඩික්ට් පාප් වහන්සේ යනු කවරෙක් ද?

වර්ෂ 1927 අප්‍රියෙල් මස 16 වන දින Joseph Aloisius Ratzinger නමින් ජර්මනියේ බැවේරියාවේ මාර්ක්ල් හිදී පොලිස් නිලධරයකුට දා ව උපත ලද බෙනඩික්ට් පාප් තුමෝ, එම ධුරය හෙබවූ නවවන ජර්මානු කාදිනල්වරයා වෙති. එමෙන්ම පාප් ධුරයට තෝරාගන්නා විට වයසින් වසර 78ක් වූ එතුමෝ, 1730 දී XII වන ක්ලෙමන්ට් පාප්තුමන් ගෙන් පසුව තෝරා පත්කරගන්නා ලද වයෝවෘද්ධම පාප් වරයාණෝ ද වෙති. VIII වන පියුස් (1829-30) පාප් වහන්සේගෙන් අනතුරුව, පාප් ධුරයට තෝරා ගන්නා ලද එකම කාදිනල් බිෂොප් වරයා සේ ම, වසර 600කින් මෙහා සිය ජීවිත කාලය තුළදී ඉල්ලා අස්වූ එකම පාප්වරයාණෝ ද වෙති. [මීට පෙර අවසන් වතාවට පාප් වහන්සේ කෙනෙකු ඉල්ලා අස්වූයේ වර්ෂ 1415 දී ය. ඒ XII වන ග්‍රෙගරි පාප් වහන්සේ ය.]

ඉතිහාසයෙන් පිටුවක්

බෙනඩික්ට් කාදිනල් තුමන්, වතිකානුව තුළ සිටි සාම්ප්‍රදායික අන්තය දැඩි ව නියෝජනය කළ අයෙකු බව කවුරුත් දන්නා කරුණකි. Catholic Times සඟරාව එතුමන් හැඳින්වුයේ “සාම්ප්‍රදායිකයන්ගේත් සාම්ප්‍රදායිකයකු” ලෙස ය. කොටින්ම වතිකානුව තුළ දෛනික යාඥාවන් සියල්ල ලතින් බසින් කිරීමට ද බෙනඩික්ට් කාදිනල් තුමා වරක් යෝජනා කෙළේ ය. මෙවැනි සමහර ක්‍රියා මාර්ග, වතිකානුව තුළ සිටි සමහර පාර්ශ්ව වල විවේචනයට බඳුන් වූ අවස්ථා ද විය. “ඔහුගේ ධුර කාලය එහෙම පිටින්ම විනාසයක්” යයි පාප් ධුරය පිලිබඳ අදහස් දක්වන බ්‍රිතාන්‍ය ඉතිහාසඥ Michael Walsh වරක් කී ය. 

එහෙත් හිටපු පාප් වහන්සේ ගේ විශ්වාසවන්තම උපදේශකයා ලෙස, වතිකානුව තුළ එතුමන් හට සැහෙන බලයක් තිබුණු බව ද නොරහසකි. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ අභාවයෙන් අනතුරුව, තමන්ට වඩා ජ්‍යෙෂ්ට කැමර්ලෙඥ්ඥෝ ධුරධාරියා සිටියදී, නව පාප් තුමන් තෝරා ගැනීමේ කාරිය සහමුලින්ම අධීක්ෂණය කළේ ඔහු බව බොහෝ දෙනාට මතක තිබිය යුතුය. 

එසේනම්, මේ “සාම්ප්‍රදායිකයන්ගෙත් සාම්ප්‍රදායිකයා”, සියලු සම්ප්‍රදාය පසෙක ලා ඉල්ලා අස්වන්නට තීරණය කෙළේ ඇයි? 

වතිකානුවේ සොරකම

මේ සිද්ධියට ආසන්නම මූල බීජය වැටෙන්නේ වතිකානුව සතු රහස්‍ය ලේඛන එකතුවක් 2012 ඔක්තෝබර් මස දී හදිසියේම අතුරුදන් වීමත් සමග ය [1]. වතිකානුව යනු ලෝකයේ කුඩාම රාජ්‍යය වූවාට, එය ලෝකයේ විශාලම පුස්තකාල සහ ලේඛනාගාර වලින් සමන්විත නගරයක් වන අතර, ශතවර්ෂ ගණනාවක් තිස්සේ කතෝලික ඉතිහාසයට අදාළ ලිපිලේඛන ලක්ෂ ගණනක් ඔවුන් සතුව ඇත. එසේම ඒවායින් බහුතරයක් මානව ඉතිහාසය හා බැඳුණු වැදගත් සිද්ධි හා සම්බන්ධ ද වේ. එබැවින් වතිකානුවෙන් ලිපි ලේඛන සොරකමක් වාර්තා වන්නේ ය යන්න, පෙන්ටගනයෙන් සොරකමක් වාර්තා වූවාට ද වඩා බරපතළ ය. 

මේ සිද්ධිය ගැන වතිකානුවේ ඉහළම මට්ටමින් නොපමාව පරීක්ෂණයක් පැවැත්වූ අතර, එහි වාර්තාවට කිමෙක් වුයේ ද යන්න මෑතක් වන තුරු මාධ්‍යයට දැනගන්නට ලැබුණේ නැත. එහෙත් අවසානයේ ඉතාලියේ “ලා රිපබ්ලිකා” පුවත්පත වාර්තා කරන පරිදි, මේ සොරකම ගැන කාදිනල් වරුන් තිදෙනෙකු විසින් [2] පවත්වන්නට යෙදුණු පරීක්ෂණයක, පිටු 300ක අතිදීර්ඝ වාර්තාවක්, 2012 දෙසැම්බර් මස 17 වන දින බෙනඩික්ට් පාප් වහන්සේ හට ලබා දී තිබේ. 

මේ දිනය අතිශයින්ම වැදගත් ය. මන්ද පාප් වහන්සේ සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නට තීරණය කොට පළමු අභ්‍යන්තර නිවේදනය නිකුත් කෙළේ ද එදාම බැවිනි. පාප් වහන්සේට ධුරය එපා කරවන්නට තරම් මේ වාර්තාවේ තිබුණේ මොනවා ද? 

සමලිංගික වාර්තාව

වාර්තාව සම්පූර්ණයෙන් මාධ්‍ය වෙත නිදහස් කොට නැති වුවත්, ඒ ගැන මෙතෙක් හෙළිදරව් වී ඇති දේ අනුව, මාතෘකාවෙන් කියවෙන කාරණාව ගැන නම් දැන් වන විට කිසිදු සැකයක් නැත. එනම් වතිකානුව තුළ, සමලිංගික සේවනයට ඇබ්බැහි වූ කාදිනල් වරුන්ගේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි. භක්තිමත් කතෝලිකයන් හට මේ ආරංචිය හද සසල කරවන්නක් විය හැකි වුවත්, ඒ ගැන දැන් වන විට කිසිදු සැකයකින් තොරව එකඟ වීමට දැඩි මතධාරී බටහිර මාධ්‍ය වලට ද සිදු වී තිබේ.

පළමුව, මේ වාර්තාව ලැබුණාය කියන දෙසැම්බර් 17 වනදාට දින කිහිපයකට පසු, සමලිංගික විවාහ සහ සම්බන්ධතා විවේචනය කරමින් පාප් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු ආවේගාත්මක කථාව සිහිපත් කළ යුතුය. 

දෙවනුව, මේ වාර්තාවට අනුව මෙකී සමලිංගික පාර්ශ්වකරුවන් නිතර මුණගැසෙන්නේ යැයි කියන රෝමයට ආසන්න නගරයක සමාජ ශාලාවක් ගැන කියැවේ. පුදුමයට කරුණ නම් මීට වසර කිහිපයකට පෙර, ඉහළ පෙළේ කාදිනල් වරුන් සමලිංගික පිරිමි ගණිකාවන් සමග ආශ්‍රය කරන බවට වාර්තාවක් ලියු ලේඛකයෙක් ද සිය ග්‍රන්ථයේ සඳහන් කරන්නේ මේ සමාජ ශාලාව ගැන ම වීමයි. 

තෙවනුව, සාමාන්‍යයෙන් මාධ්‍ය නිවේදන කෙරෙහි ඉතා සැළකිලිමත් වන වතිකානුව, මේ වාර්තාව ගැන කියන පරස්පර විරෝධී ප්‍රකාශයි. එමෙන්ම මේ සිද්ධියේදී “හොරාට කලින් කෙහෙල්කැන වැට පනින්නා සේ”, නිකුත් වූ සමහර මාධ්‍ය ප්‍රකාශ ගැන ද දැන් අපට පැහැදිලි වැටහීමක් ලබා ගත හැක. උදාහරණයක් ලෙස, පාප් වහන්සේ ගේ ඉල්ලා අස්වීමේ තීරණය ගැන කියන විට, වතිකානු මාධ්‍ය ප්‍රකාශක ෆෙඩ්රිකෝ ලොම්බාඩි පියතුමන්, ඊට කිසි සේත් සම්බන්ධයක් නැති “බාහිර බලපෑම්” ගැන කීවේ මන්දැයි බොහෝ මාධ්‍ය විපිළිසර ව උන් හ. (උපුටනය: “පාප් වහන්සේ මේ තීරණය ගත්තේ උන් වහන්සේගේ සිය කැමැත්තෙන්ම, හොඳ මානසික තත්වයකින් මයි; කිසිදු බාහිර බලපෑමකින් නොවෙයි”) 

එහෙත් “වතිකානුව තුළ වෙසෙන සමහර කාදිනල් වරු, සිය සමලිංගික සහකරුවන් ගේ අල්ලේ නැටවෙන මට්ටමේ සිටින බව” ලා රිපබ්ලිකා පුවත්පත වාර්තා කළ විට, වතිකානු මාධ්‍ය ප්‍රකාශක පියතුමන් කියා සිටියේ “තමා එවැනි බාහිර බලපෑම් ඇති බව තහවුරු කරන්නේවත්, ප්‍රතික්ෂේප කරන්නේ වත් නැති” බවකි. 

එසේම මෙකී රහස් වාර්තාවට අනුව මේ පලහිලවු වලට පැටලී සිටින්නේ පහළ මට්ටමේ පිරිස් පමණක් නොවන බව, ඕස්ට්‍රේලියානු කාදිනල් Pell පියතුමන් කරන පහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ. “වාර්තාවේ ඇත්තේ මොනවාදැයි මා දන්නේ නැහැ, නමුත් වතිකානු ධුරාවලිය තුළ සැළකිය යුතු වෙනස්කම් රාශියක් සිද්ද විය යුතුයි කියන දේ නම් පැහැදිලියි.”

පාප් වහන්සේ ගේ ප්‍රතිචාර

සමහර මඩ පත්තර කලාවේ යෙදෙන ටැබ්ලොයිඩ් සඟරා හැරෙන්නට, අන් සියලු මාධ්‍ය, එකඟ වන එක කරුණක් තිබේ. එනම් පාප් වහන්සේ ඉල්ලා අස්වූයේ කළකිරීම මත මිස, සිය චරිතයේ වරදක් නිසා නොවන බවයි. වතිකානුව ගැන බොහෝ දේ ලියා ඇති La Stampa හි Marco Tosatti මෙසේ කියයි: “කාදිනල් තුමා වසර විසිපහක් තිස්සේ වතිකානුවෙන් සමලිංගික සේවක පූජකයන් එළවා දමන්නට, පූජකයන් හික්මවන්නට උත්සාහ කළ අයෙක්. පාප් ධුරයට පත්ව වසර අටකුත් ඔහුට ඒ දේ කරන්නට වුණා. කොටින්ම කියන්නේ නම් ඔහු දකින්න තියෙන හැමදේම දැකපු අයෙක්. ලෝකයේ ඕනෑම අහුමුල්ලක දකින්නට ලැබෙන කුණු ගොඩවල්, වතිකානු බැසිලිකාව ඇතුළෙත් තියෙන බව දැනගත්තාම (එතුමාගේ වචනයෙන් කියන්නේ නම්, හැම ජාතියෙම මාළු මෙහෙත් ඉන්න බව දැනගත්තාම) එතුමාට හැමදේම එපා වුණාය කියල හිතන්න බැරි නැහැ.”

[සටහන: ABC ප්‍රවෘත්ති අනුව, කතෝලික පල්ලියේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් වැඩිම පූජකයන් ගණනක් එළවා දැමු පාප් වහන්සේ වන්නේ බෙනඩික්ට් පාප් වහන්සේ ය. ඒ මාසයකට දෙදෙනෙක් හෙවත් සමස්ත පූජක ප්‍රජාවෙන් ~2% කි.] [3]

මීට කලකට පෙර සිදු වූ ළමා අපචාර සිද්ධියේදී අසාධාරණයට ලක් වූ දරුවන් වෙනුවෙන් කතා කරන්නට, ඔවුන් ගේ සැප දුක හොයනු පිණිස සහ ඔවුන්ගේ මානසික තත්වය යළි නගා සිටුවනු පිණිස සිය පුද්ගලික කාලය පවා කැපකළ අයෙකි, බෙනඩික්ට් පාප් වහන්සේ. එහෙත් වතිකානුව තුළ ක්‍රියාත්මක වූ යම් පාර්ශ්ව වල බලපෑම සහ අකුල් හෙළීම නිසා ඒ ක්‍රියා මාර්ග ඉදිරියට ගෙන යන්නට උන් වහන්සේ ට නොහැකි වූ බව ද රහසක් නොවේ.

අන්‍ය මත

කෙසේ වෙතත් පාප් වහන්සේ ගේ ඉල්ලා අස්වීම සහ මෙකී වාර්තාව අතර සම්බන්ධය ගැන සෑම දෙනෙක්ම එක සේ එකඟ වන්නේ නොවේ. උන් වහන්සේ ගේ ජීවිත කතාව ලියු මාධ්‍යවේදී David Gibson පවසන්නේ මෙසේ ය: “පැහැදිලිවම, උන් වහන්සේ ගේ ඉල්ලා අස්වීම කරුණු රාශියක බලපෑමෙන් සිදු වූ දෙයක්. ඉන් බහුතරය වතිකානුව තුළ පවතින අභ්‍යන්තර ගැටළු හා සම්බන්ධයි. මේ කියන ලිංගික විෂමාචාර වුණත් එහි කොටසක් පමණයි. මා හිතන්නේ නෑ එය උන් වහන්සේගේ ඉල්ලා අස්වීමට එකම හේතුව තබා අඩුම තරමේ ප්‍රධාන හේතුව කියා වත්.” [4]

පාදක සටහන්

[1]. This so-called “Vatileaks” scandal involves the pontiff’s former butler, Paolo Gabriele. Gabriele was arrested in May for stealing and leaking papal correspondence to the press.
[2]. The report was prepared by Spanish Cardinal Julián Herranz, Slovak Cardinal Jozef Tomko and Cardinal Salvatore De Giorgi, a former archbishop of Palermo.

[3]. Pope Benedict oversaw the highest rate of removal of bishops for sexual misconduct ever recorded by the Catholic Church, the ABC’s religion unit has revealed. The former pontiff removed at least one bishop a month, accounting for 2 per cent of the world’s bishops. The list obtained by the ABC’s Religion Unit includes 50 bishops who lost their jobs over breaches of celibacy or alleged sexual assaults. Forty per cent of those bishops were forced to resign after having sexual relations with women – and many fathered children. A significant number were accused of rape, sexual assault and sexual abuse of minors. Relations with men, including other members of the clergy, make up the rest of the list.

[3]. “Benedict’s resignation was most certainly the result of numerous factors, mainly revolving around the internal problems of the Vatican, of which sexual shenanigans were likely one — but hardly the only one, or even the principal one,” Gibson wrote in his online blog.

මූලාශ්‍ර

1. “Why did the Pope resign?”, Daily Nation, May 14,  2013
3. “Did gays in the Vatican drive Benedict out?“, Sacred and Profane, Feb 22, 2013
4. “Pope Benedict’s resignation linked to gay conclave“, Daily News World, Feb 22, 2013
5. “Pope Benedict XVI’s resignation explained“, CNN News, Feb 28, 2013
Advertisements
Posted in කතෝලික පල්ලිය, පාප් වහන්සේ | ප්‍රතිචාර 8

දෙපෙත්තෙන් දැනේ | The Two Pills



“හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ”

“හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” කියා පිරුළක් තිබේ. බොහෝ දෙනා මෙය, “හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ” කියා වැරැදියට පාවිච්චි කරනු පෙනේ. එහෙත් සත්‍ය වශයෙන්ම මෙහි අර්ථය වන්නේ දෙපියලි බීජයක් රෝපණය කළවිට එය කවරාකාරයෙන් වැඩේ ද යන්න, එහි මුලින් මතුවන දෙපියල්ලෙන් කිව හැකි බවයි. 

අද කාලයේ “පෙත්ත” යන්නට විවිධාකාර අර්ථ තිබේ. උපත් පාලන පෙත්ත, මත් පෙත්ත, මෝදක පෙත්ත, ආතල් පෙත්ත, ඇඟ හදන ජිම් පෙත්ත, ලෙඩට බොන පෙත්ත, පිස්සුවට දෙන පෙත්ත, ගබ්සා පෙත්ත, ආදී වශයෙන් නානාප්‍රකාර “පෙති” වරුසාවක් මැද ය, අප ජීවත් වන්නේ. 

අද කාලයේ අපේ සමාජය ද ජීවත් වන්නේ “පෙති” මතය යන්න අපේ අදහසයි. නමුත් ඒ අර කී එකදු තේරුමකින් වත් නොවේ. 

මේ රටේ ජනතාවටද පෙති දෙකක් ඕනේ ය. 

කොටිම්ම ඔය පෙති දෙකෙන් තොරව මේ රටේ ජහමනයා හට ජීවිතයක් නැත්තේ ය. 

එකක් චූං පෙත්ත ය. ඕක බිව්වාම රටේ ජනතාව වයින් කරාපු චීන බෝනික්කන් වගේ චූං වී නැගිට මරහඬ තලන්නෝ ය. සාමාන්‍යයෙන් මේක දෙන්නෙ ජනතාව ෆෝම් කරන්නට ය. ජාතික ගීයට දෙමළ පද යෙදීම, හලාල්, කටු ගෙයි කන්ගැට්ටා, නයි කෙල්ල සහ පොල් කෙල්ල, ආදී නානාප්‍රකාර “පෙති” ඇත්තේ ය. මේවායින් එකක් දුන්නාම ජනතාව ද (අපරාදේ කියන්නට බැරිවා සේ) චූන් වී ඩෙනා නටති. 

අනික නිදිපෙත්ත ය. ඕක බිව්වාම ප්‍රශ්න සියල්ල අමතක වී යන්නේ ය. උදාහරණ ලෙස හලාල් ඉවත් කරගන්නවා යැයි පචයක් කෙළ, ඒ වෙනුවට හීන් නූලෙන් ගෙනාපු HFAC සහතිකය ගත හැක. නැතහොත් මේ ළඟදීම කළ විජ්ජාව අනුව, විදුලි බිල 100% කින් වැඩි කොට ආයෙම 20% කින් අඩු කිරීම ගත හැක.



(විදුලි ආතල් ගැන රියර්ගේට් ලියන චාමි වෙනමම ලිපියක් වෙන්කොට තිබිණි. තමන්ටම හිනා වෙන්න ආස අය මෙතනින් කියවන්න.)

සාමාන්‍යයෙන් මේ ආණ්ඩුව තුළ අප දකින සුවිශේෂීම ලක්ෂණය වන්නේ, good cop-bad cop සිද්ධාන්තය උපරිමව යොදා ගැනීමයි. මේ වනාහි බටහිර රටවල සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට යොදා ගන්නා උපක්‍රමයකි. ඒ අනුව නිලධරයෝ දෙදෙනෙක් සැකකරු හමුවේ පොඩි රංගනයක් කරති. එකෙක් ඉතාම ආවේගශීලීව හැසිරෙමින් සැකකරු ඉතාම දැඩි පීඩනයකට ලක් කරයි. ඒ Bad cop ය. අනිකා අර කලින් කී එකාට විරෝධය පාමින් සැකකරු ගේ පැත්තට කතාකරයි; ඔහු දෙස අනුකම්පා ඇසින් බලන බව පෙන්වයි. බොන වතුර වීදුරුවේ සිට ලඟට ගෙනවිත් දෙයි. ඒ Good cop ය. අවසානයේ සැකකරු අර පීඩනයෙන් මිදෙන්නට Good cop වෙත කිට්ටු වන අතර, ඔහු තමාගේ මිතුරකු ලෙස සැළකීමට අවිඥානිකව පටන් ගනී. මේ රංගනය පුදුමාකාර කෙටි කලකදී අවසන් වන අතර, බොහෝවිට සැකකරු ලණුව කයි.

(සටහන: ලංකාවේ පොලිසිය සමග මේ සෙල්ලම් නැත. වරක් දෙකක් හොඳින් කියා අහන්නේ නැත්නම් ඊළඟට ලැබෙන්නේ හොඳ කණේ පහරකි. නැත්නම් ලාච්චු කෝස් එකකි. හදන්නම බැරිනම් ආයුධ පෙන්වන්නට අරං යනු ලැබේ.)

Good cop-bad cop ලංකාවේ ක්‍රියාත්මක වන විධිය තරමක් සංකීර්ණ ය. මන්ද ඊට රජ්ජුරුවෝ සම්බන්ධ වන නිසා ය.

රජ්ජුරුවෝ උඩයි උඩයි

රජ්ජුරුවෝ සැම විටම හරි යයි කියා බ්‍රිතාන්‍ය නීතියේ තිබේ ලු. එක්තරා කාලයක මෝගල් අධිරාජ්‍යයෝද මේ නීතිය ක්‍රියාත්මක කළහ. එවිට රජු මොන අලුගුත්තේරු වැඩේ කලත් ඔහු විවේචනය කළ නොහැක. මන්ද රාජ්‍යත්වය යනු දේවදත්ත ධුරයක් බැවින් ඊට එරෙහි වීම යනු සර්වබලධාරී දෙවියන් විවේචනය කිරීමක් වන නිසාය. 


මෙහි ද යම් ධුරාවලියක් ඇත. ඒ කියන්නේ ලොවෙත් රජු විවේචනය කරන්නට බැරිය. ඊට පල්ලෙහා තට්ටුවේ එකාලාට උපහාස වනු පිණිස කාටූන් ඇඳීම වැනි දේවල් කරන්නට අවසර තිබේ. ඊටත් පල්ලෙහා එකාලා ගේ හැඩයට පඹයින් පිළිස්සීම වුවද කල හැක. අන්තිම තට්ටුවේ අපතයන් හට නම් මොනවා කලත් දැනෙන්නේ නැත. 

අපේ රටේ සිස්ටම් එක අර සියල්ලට වඩා විශිෂ්ටය. මන්ද එතෙක් මෙතෙක් අපේ රටේ පවතී ආණ්ඩු අතරින් මේ තරමට ජනතාව නිර්වින්දනය කල ආණ්ඩුවක් නැති බැවිනි. ජනතාවට රටේ ඉහ ගහගෙන ඉන්නට බැරි ප්‍රශ්න තියෙද්දිත් ඒ සියලුම ප්‍රශ්න අමතක කරවා, වෙඩි කා අනු නවයෙන් බේරුණු කුඩුකාර සල්ලාලයකු ගැන ජනතාව හිතන තැනට ගෙනාවේ වෙන කවර ආණ්ඩුවක් ද? ඉසෙඩ් ස්කෝර්, මුතුරාජවෙල රත්තරන්, කන්ගැට්ටා ගේ මිෂන් ඉම්පොසිබල්, කොළොන්නාවේ ෂූටිං ස්ටාර්, දුටුගැමුණු කඩුව, හලාවත බිලි පූජා, වැලිකඩ ප්‍රිසන් බ්රේක්, දඹුල්ලේ හලාල්, සීයට හය, අග විනිසුරු තුමියට එරෙහි දෝෂාභියෝගය, කොළඹ නයිට් රේස්, සිට දැන් දැන් පිටසක්වල ආක්‍රමණ දක්වා හොලිවුඩයෙත් නැති නානාප්‍රකාර විසූක දස්සන සියල්ලම බලා ගැනීමේ වාසනා මහිමය අපේ පුංචි ලක්වාසීන් හට ලැබී තිබේ. (අමතක වුනා.. රාවණා උමග? මීවනපලානේ උන්නැහේ දැක්කා නම් මට විසුමක් වෙන්නේ නැත.)

මේ සියල්ල මැද අමුතුම කාරනාව නම් “රජ්ජුරුවෝ” මේ කිසිම දේකට මැදිහත් නොවී කිරිසප්පයා වාගේ තිරෙන් පිටුපස සැඟවී සිටීමයි. යම් හෙයකින් ජනතාවට මේ විකාර දරා ගත නොහැකිව කෑ ගැසුවොත් අන්න එතකොට ආඩම්බරකාර පියාණෝ ඉදිරියට ඇවිත් දඩබ්බර ඇමති ලොකු පුතාලාට සද්දයක් දමා මහජනයා නමැති පොඩි පුතාව සනසන්නේය. විදුලි බිල 100% කින් ඉහල දමා යලි 10% කින් පහල හෙලීමද එවැන්නකි. පාතාල කල්ලියක ගෝලයෝ ටික සිය එදිරිවාදියාව හතරමං හන්දියක සිටුවා අසූචි වලින් නැහැව්වාට පසුව, කල්ලියේ ලොක්කා ඇවිත් සරමෙන් අරූගේ මුහුණේ අසූචි පිසදැමීම මීට වඩා තාර්කික ය. 

The Matrix චිත්‍රපටයේ වගේ සත්‍ය සහ මිථ්‍යාව අතර තෝරා ගැනීමක් කරන්නට කාලය එළඹ ඇත. 

Posted in විදුලි බිල, සංවාද | ප්‍රතිචාර 24

මැයි ගොන්නු | The May Oxen


වසරේ හොඳම රංගොජාට හිමි ස්වර්ණ වෘෂභ සම්මානය සඳහා හේතු පාඨය: 

වසරේ තුන්සිය හැටපස් දවසේ ම ආණ්ඩුවට බණිමින් එහෙත් කියන කියන හැටියට පටි තද කර ගනිමින් එදා වේල කා ජීවත් වීම වෙනුවෙන්ද, ප්‍රශ්න අමතක කරවන්නට පෙන්වන හලාල්, නයි කෙල්ල, පොල් කෙල්ල, කටුගේ කඩුව, කන්ගැට්ටා, වැලිකඩ ප්‍රිසන් බ්රේක්, මට මතක නැහැ, අයිය පව්, ඉසෙඩ් ස්කෝර්, තෙල් බාලා වැනි සම්භාව්‍ය ගණයේ සෝප් ඔපෙරාවක්ම සහ සෑම මාධ්‍ය සංදර්ශනයක් ම කටවල් ඇරගෙන සෙවල පෙරාගෙන බලා සිටීම වෙනුවෙන් ද, සෑම මැයි දිනයකම කාගේ හෝ බත් ගොට්ටකට සහ බෝතලයකට පෙරේත කමේ සෙවල හලමින් ගොස් අහවලා දිනේවා කියා ඔළුවටත් උඩින් සරම/රෙද්ද උස්සා වටයක් කරකවා හයියෙන් තප්පුලෑම වෙනුවෙන් ද, එදාම හවහට දෙකක් වනාගෙන කණමදයා වාගෙ ගෙදර ඇවිත් ගෙදර කන්න නැතිව බඩු මුට්ටු පොලේ ගහමින් ගෑණි ඉදිරියේ චණ්ඩියා වීම වෙනුවෙන්ද, මේ රටේ දූෂක පාලක පන්තිය පමණක් නොව, උන්ගේ හත්මුතු පරම්පරාවක් ම චිරාත් කාලයක් වැජඹවීම පිණිස සිය සකලවිධ ශාරීරික, මානසික සහ ආත්මික ශක්තිය කිසිදු ලෝභ මූල චිත්තයකින් තොරව කැප කිරීමෙන් කරන ලද අතිවිශිෂ්ට ගොන්වැඩ වෙනුවෙන් මේ වසරේ මරා සම්මාන උළෙලේ ස්වර්ණ වෘෂභ සම්මානයෙන්, ඔබ පිදුම් ලබන වගයි!

Posted in සංවාද | ප්‍රතිචාර 5

විරාමයෙන් පසු | After the Break

විරාමයකින් පසු…

දීර්ඝ නිහැඬියාවකින් අනතුරුව යළිත් බ්ලොග විවෘත කොට යමක් ලියන්නට වෙර දරමි. එසේ කරන තුන්වෙනි සතිය මේ ය. මේ වන විට ලියන්නට පටන් ගෙන ලියා අහවර නැති ආටිකල් ම තුනක් තිබේ. ලියන්නට යන එව්වා කලින් කීම දැන් කාලයේ ආතල්  එක වී තිබෙන බව පෙනෙන නිසා ඔන්න ඒ ටික මෙසේ ලියා දක්වමි.

1. මා-තැලී (මාතලන් හට කිණ්ඩියක් නොව) අහවරක් නැති රථවාහන තදබදය ගැනය.
2. ඉතිං ඊට පස්සේ — හලාල් වෙනුවට ආ HFAC සහ අන්වර් මණතුංග ගැන
3. ඉටිපන්දම් සේනාව — දන්නෝ දනිති

මේ තුනත් ලියවේ ද නැද්ද යන්න ගැන මටම සැකයක් ඇත. එහෙත් ලිව යුතු යමක් නැතුව ලියපං ලියපං යයි යතුරු පුවරුවට කෙටුවාට ලියවෙන්නේ නැත. එක්කෝ මෙව්වා ලියන්නට තරම් කම්පනයක් නැති කම නිසා හෝ, නැතිනම් ලියන්නට තරම් කම්පනය වැඩි නිසා හෝ නොලියවුණු බව පමණක් උපකල්පනය කරමි.

එහෙත් දීර්ඝ නිහැඬියාව ගැන යමක් කිව යුතුය.

කෙටියෙන් කියන්නේ නම් මේ සමාජයීය / දේශපාලන බ්ලොග් කරුවන් හට හොඳ කාලයක් නොවේ. කාලයක් දේශපාලන බ්ලොග් නැගලා ගියේ ය. ටැබූ, කොලු වැනි චරිත හිටපු කාලය ගැනය මේ කීවේ. ඒ කාලයේ බ්ලොග් අවකාශය තුළ ඇත්තටම කතා කරන්නට දේවල් ද තිබිණි. කොටි සංවිධානය සමග එකට ක්‍රියාත්මක වූ දමිළ ඩයස්පෝරාව විසින් ගෙන ගිය අති දැවැන්ත මාධ්‍ය මෙහෙයුම් ගැන දන්නා අය අදටත් සිටිති. ඒ කාලය වනාහි ඉතා කෙටි ඡේදන සහිත උද්වේගකර සිනමා දර්ශනයක් මෙන් විය.

ඉන් පසු ජනප්‍රිය වුයේ නිර්මාණශීලී බ්ලොග් ය. මේ හරහා ද බොහෝ දේ සිද්ද විය. රට පුරා විසිරී සිටි නිර්මාණකරුවන්ගේ නිර්මාණ ශක්තිය මුදා හැරීමේ උන්නතිස්ථානය එය විය. නමුත් මේ තුළ බලාපොරොත්තු වූ දේ මෙන්ම නොවූ දේ ද බොහෝ සිදු විය. උදාහරණයක් ලෙස සෑහෙන බැංකු ගිණුම් ප්‍රමාණයක් බංකොළොත් වෙද්දී සෑහෙන දත් ප්‍රමාණයක් ද ගැළවී තිබිණි.

දැන් දැන් ට්‍රෙන්ඩ් එක වී තිබෙන්නේ ගොසිප් ය. ඔරිමජිනල් ගොසිපා ගේ නික්මයාමෙන් අනතුරුව ඒ තැන පුරවන්නට මදි නොකියන්න මිනි/මයික්‍රො ගොසිප් නම් තිබේ. අහවලා කාපු හැටි, මෙයා බීපු හැටි, අරූ අඳින හැටි, අරකි පද්දන හැටි ආදී වශයෙන් මට මෙව්වාට නම් ද දිය හැකිය.

සටහන: මා මිනි/මයික්‍රො ගොසිප් යයි කීවේ බ්ලොග් අවකාශය (කියා හිතං ඉන්නා වූ මෙවුවා එක) තුළ මේවා අතිදැවැන්ත සද්දන්ත කුලේ හස්තිරාජ ගොසිප් වුණාට මේ රටේ වත්මන් තත්වය තුළ මෙව්වා ඇමීබාවකු තරම් වත් පෙනෙන්නේ දැනෙන්නේ නැති ගොසිප් බැවිනි.

මේ සියල්ල තුළ දැන් දැන් නව පරිණාමන ක්‍රියාවලියක් ඇරඹෙන බව අපි කලක සිටම නිරීක්ෂණය කෙළෙමු. සාමාන්‍යයෙන් පරිනාමයේදී බිහිවන්නේ කලින් හිටි උන්ට වඩා පරිසරයට ගැළපෙන උන් ය. එහෙත් ඉඳ හිට පරිණාමයට ද වරදින අවස්තාවන් ඇත. මුන් මොකට උපන්නා දෝ යි සිතෙන තරමේ කැත, අවලස්සන, මෙලෝ රහක් නැති කුණු ගන්දස්කාර මළ පෙරේත යක්කු වැනි උන් බිහි වන්නේ අන්න එවිට විය යුතුය.

බ්ලොග් යනු තථ්‍යපරාස දෙයක් නොවේ. බ්ලොග් අතින් අල්ලන්නට බැරිය. ලියන එකා නම් අතින් අල්ලන්නට හැකිය. එහෙත් නිර්මාපකයා සහ නිර්මාණය යනු එකක් නොව දෙකකි. එබැවින් නිර්මාපකයා සමග හමු වී කතා කළා යනු බ්ලොග් එක සමග කතා කළා වන්නේ නැත. අනික නිර්මාණයේ අන්තර්ගතයෙන් නිර්මාපකයා මැනීම ද කළ නොහේ. මේ සරල සත්‍යය වටහා ගන්නට බැරි මී හරක් බ්ලොග් ලෝකයේ තවමත් මොකට වසන්නේ ද යන්නම ගැටළුවකි. කෙල්ලෙක් අසම්මතය ගැන ලී පමණින් ඈ සමරිසියෙකැයි ද, ස්ත්‍රීවාදීණියකයි ද මහා හඬින් උද්වේගකර ස්වරයෙන් කෑ ගසන්නේ එවැනි ළාමක ටින්ටින් චරිත ය. මෙසේ බිරුසන් දෙන පිස්සු බල්ලන්ට, සියල්ලට පළමුව කණ පැලෙන්නට දෙකක් දී සංවරය ඉගැන්විය යුතුය. දෙවනුව, අවශ්‍ය නම් පමණක් උන්ට “ලියනවා” යනු කුමක්දැයි තේරුම් කර දිය හැක.

Who let this Dog / Bitch out? 

වර්තමාන බ්ලොග් ලෝකය තුළ මා ඉහත කී සත්‍යය ඇස් පනාපිටම පෙනෙන්ට තිබේ. කෙටියෙන් කියන්නේ නම් මේ දිනවල අනුන්ගේ කුණු කණ වරත්තු බල්ලෙක්/බැල්ලියෙක්, ඌ වෙනුවෙන් කඩේ යන උන් ද සමගින් බ්ලොග් ලෝකයට පැමිණ තිබේ. රටවල් දෙකක නම් වලින් සැදී කවලන් නමකට උරුම කම් කියන මේ වල් බලු තෙම, සතියකට වරක් සිය බ්ලොග් පඩංගුවේ කාට හෝ මඩක් ගසා, ඊවටා එක රොක්වන නිලමැසි කැළ ගණන් කොට සතුටු වන්නේ ය. නමින් ඇනෝ යයි මහා සාඩම්බරයෙන් තමන්වම හඳුන්වා ගන්න මේ බ්ලොග් රාජයා ගේ ඇනෝ ගැන දැනුම දකින විට උන්හිටි තැන් දමා දුවන්නට තරම් කළකිරීමක් හට ගනී.

කරන එකා කවුදැයි මේ වන විට කියවන්නා දැනගත යුතුය. එසේ වටහා ගන්නට බැරිනම් මට ඒ ගැන කණගාටුව පල කරනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් ද නැත. එහෙත් එය කරන එකා මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන බව මම දනිමි. ඒ නිසා ඔහුගේ/ඇයගේ දැනුම පිණිස, මෙන්න මේ ටික මෙහි ලියා තබමි.

බ්ලොග් අවකාශය කියා අප කීවාට එහෙම එකක් ඇත්තේ නැත. ඇත්තේ බ්ලොග් පමණි. බ්ලොග් එකතු කර අවකාශ තනන්නේ යම් කුලකයක් තුළ බ්ලොග් වර්ගීකරණය කරන්නට සැරසෙන කෙනෙකි. මේ වර්ගීකරණය එක එකාගේ පුද්ගලික රුචිය අනුව වෙනස් වේ. ඒ අතින් ගත්විට බ්ලොග් ද ගීත වැනිය. සමහරු ආදර කතා ලියති. සමහරු විරහව ගැන ලියති. මීට අමතරව, ධර්මය, අධර්මය, මතවාද, දේශපාලනය, සමාජයීය කරුණු, රටතොට විත්ති මේ ඈ විසින් ලියන්නට අටෝරාසියක් දේ මට කිව හැකිය. එකෙක් බ්ලොග් එකක් පමණක් නොව කීපයක් ලියන්නේ නම් කතාව තවත් සංකීර්ණ වේ. අනික එකම කෙනාට ද විවිධ ආරූඪ නම් තිබිය හැක. සමහර විට එසේ ආරූඪ නමක් තබා ගැනීම සරීර සවුක්කියට හොඳ ය.

අප ඇනෝ හෙවත් නිර්නාමිකත්වයට පක්ෂ එනිසාය. තහනම් වචන යනු මේ ලියන එකෙක් ගේ වත් උප්පැන්නේ නම නොවේ. අප දකින විදියට අනුව නිර්නාමිකත්වය බ්ලොග් තුළ තිබිය යුතු අවස්ථා තිබේ. ඒ අයිතිය ගැන සැකයක් නැත. පටන් ගත් දා සිටම අපේ අඩවියේ ඇනෝ විවෘත කර තිබූ බවටත්, මේ වන විටත් එය එලෙසින්ම ඇති බවටත් පාඨක ඔබ සාක්ෂි දරනු ඇත. අඩුම තරමේ අපි කොමෙන්ටු මොඩරේට් කිරීම වත් නොකරමු. මහා ලොකුවට “අපි ඇනෝ” කියාගෙන අණබෙර ලවාගෙන පටන් ගත්තු සමහර පරමාදර්ශී ඇනෝ බ්ලොග් වල, සති දෙකක් යන්නට මත්තෙන් ඇනෝ වැසී යයි.

එහෙත් ඇනෝ යනු අනුන්ගේ කුණු ඇවිස්සීමට, රෙදි ගැළවීමට සහ තමන් මුවා වී අනිකාගේ මුහුණේ මඩ තැවරීමට දෙන අයිතියක් නොවේ. ඇනෝ යන්න අවභාවිතය තුළින් වන්නේ සමස්ත නිර්නාමිකත්වයම හෑල්ලු වීම පමණි. අනික ඇනෝ යනු ත්‍රස්තවාදයක් ද නොවේ. සැබෑ චරිතයකට පරිස්සම් කිරීමට දෙයක් ඇති නිසාත්, අසත්‍ය චරිතයට එහෙම එකක් නැති නිසාත්, බොහෝ විට සත්‍ය එකාගේ සත්‍ය භාවය ප්‍රාණ ඇපයට ගෙන, මඩ ගැසීමේ සිද්ධි දක්නට ලැබේ. තමන්ගේ රෙද්ද බේරගත යුතු නිසා අවසානයේ සත්‍ය එකාට සිද්ද වන්නේ නගුට පටළවාගෙන ගෙදර යාමටය. එවිට අර කී ඇනෝ, ත්‍රෛලෝක විජයග්‍රහණය කළා සේ සන්තුෂ්ටියෙන් උද්දාමව, “ඔන්න ඕක තමා කිව්වේ ඇනෝ/ෆේක් එක්ක හැප්පෙන්න එපා කියලා” යයි වහසි බස් බෙනේ. බලන් ඉන්නා නිලමැස්සෝ හූ තියමින් සිනා වෙති. සිහි මොළේ ඇත්තෝ හොරෙන් අයිනකට ගොස් අපුල යනු පිණිස වමනකෘත්‍යය කොට හීන් සැරේ පිටව යති.

රජ්ජුරුවෝ උඩයි උඩයි — මිටි කොල්ලෝ බිමයි බිමයි

මේ අප කුඩා කල ඇසු ගීයකි. කුමක්දෝ හේතුවක් මත, මට මේ ගීය අසන්නට ලැබෙන්නේ ම අමුතු අවස්ථා වල ය. දැන් මේ හදිස්සියේ මේ ගීය සිහිපත් වුණේ ද, එවැනි අහම්බයක් නිසා ය.

ආරළු බීරළු නැතිව කෙළින් කියන්නේ නම්, බ්ලොග් යනු විමධ්‍යගත, විකල්ප මාධ්‍යයකි. එහි පාලකයකු නැත. එනිසා අරක කියන්න පුළුහන්ය, මේක බැරිය ආදී වශයෙන් තගා පාට දමන්නට සමත් බ්ලොගේශ්වරයකු මෙහි නැත. අලුත් එකා වුණත් ඌ ලියන දේ අහන්නට පිරිසක් වේ නම්, ඒ ශෛලිය ප්‍රිය කරන එකෙක් වේ නම් ඌ ටක් ගැන සැණින් පොරක් වේ. අනිත් අතට මොන තරම් මාධ්‍ය ක්ෂේත්‍රයේ කප් ගහපු දැවැන්තයෙක් වුණත් ඌ ලියන දේ කියවන්නට කැමති පිරිසක් නැති තැන ඌ නිකම්ම විස්ථාපනය වේ. ඒ හැටි ය. අර අයියාට අවශ්‍ය විදියට වත්, මේ අයියාගේ අදහසට අනුව වත් බ්ලොග් ලියවෙන්නේ නැත; ලියවිය යුත්තේද නැත. මෙය හුදෙක් පූර්ණ විලම්භ න්‍යාය අනුව බෙදී ගිය පාඨක ප්‍රජාවකි. ඒ නිසා බ්ලොග් අතර පැරැන්නෝ සහ නවකයෝ සිටියත්, සින්නො සහ ජුන්නො කියා එකක් මෙහි නැත. කවරෙකු හෝ එවැන්නක් සමාජගත කරන්නේ නම් ඒ උගේ හීන මානයයි.

(මේ කියන්නේ සැබෑවටම බොහෝ දේ කළ කෘත හස්ත රචකයන් හෑල්ලු කිරීමට නොවේ. අප ඔවුන් කළ කී දේට ගරු කළ යුතු මය. අකමැති දේ විවේචනය කළ හැක. එහෙත් මතවාද මිස මිනිසුන් නොගැටිය යුතුය. අනිත් අතට ගරු කරනවා යනු පුද්ගලාභිවන්දනය නොවේ. තමා ගරු කරන බ්ලොග් රචකයකු වේ නම් ඒ රචනය අගය කරනවා මිසක, ඔහු යන පියවරක් පාසා උහු පා දුහුවිලි සිප නියරසින් සැනසිය යුත්තේය කියා එකක් නැත. විවේචනය ද එසේමැයි. )

මෙතනට ගැළපෙන කතාවක් චමිල් ගේ Feeding the Monkey බ්ලොගෙන් අහුළාගතිමි. මෙන්න ඒ රත්තරං වචන ටික:

මේ ලඟකදි ඉඳන් ‍”ජේස්ට ආධුනික” බ්ලොග්කාරයො කියල දෙගොල්ලක් ගැන කතාව.
මම දන්න තරමින්‍ ජ්‍යෙෂ්ඨ/ප්‍රවීණ බ්ලොග්කරුවො කියල කොටසක් නැහැ. ආධුනික බ්ලොග්කරුවො කියල එහෙම්ම කට්ටියකුත් නැහැ. මම හිතන්නෙ ඔය ජ්‍යෙෂ්ඨ බ්ලොග්කාරයො වැඩි කාලයක් බ්ලොග් ලියන අය වෙන්නැති. ආධුනික කියන්නෙ මේ ලඟදි ආපු අය වෙන්නැති. 

කෙටියෙන් කියන්නං. මේ බ්ලොගොස්ෆියරෙ කියන බඩකඩිත්තුව ඇතුලෙ ජ්‍යෙෂ්ඨයො කියල මොක්කුවත් නැහැ. කාලයක් තිස්සෙ බ්ලොග් ලියන එවුන් ඉන්නව. උන් කියල අමුතු පොරත්වයක් නැහැ. හොඳ ලියන්නො ඉන්නව. කුණු ලියන්නො ඉන්නව. හොඳට ලියන්න බැරි මලවන්නො ඉන්නව. මුන් ඔක්කොම බ්ලොග්කාරයො. ආධුනික ප්‍රවීණ කියල දෙකක් නැහැ. (ඔලුව වනන්න කලින් –  මම මේ කියන්නෙ “අපි ඔක්කොම එකම බ්ලොග්කරුවො. ඒ නිසා සමගියෙන් ඉමු” වගේ බබා හුකුං නෙමෙයි)

(…උපුටනය…)

අන්තිමට කියනවනං කාරණා තුනයි. 

එක : ජ්‍යෙෂ්ඨ බ්ලොග්කාරයො ආධුනික බ්ලොග්කාරයො කියල දෙකොට්ඨාශයක් හදාගන්න දඟලන්න එපා. ජ්‍යෙෂ්ඨයො කියන එවුන්ගෙන් “අයියෙ *යියෙ” ගගා උපදෙස් පතන්න යන්නත් එපා. උන් අමුතුවෙන් දන්න දෙයක් නැහැ. බ්ලොග් ලියන්න පටන් ගන්න බොහොමයක් එවුන් හිතාගෙන ඉන්නෙ මේ ජ්‍යෙෂ්ඨ කියන අයට වැඳල පුදල අයියෙ අක්කෙ ගාලා උන්ගෙන් ආසිර්වාදයක් ගන්න එක අනිවාර්යයි කියල. මේව දකිනකොට මතක් වෙන්නෙ තව සිද්දියක්. “සින්ඩි” මාර දෙයක් වෙලා තිබුන කාලෙ අලුතින් බ්ලොග් ලියන්න පටන් ගත්ත එවුන් කරපු දෙයක් තිබුන. අලුතෙන් වාහනයක් ගත්තාම කතරගම ගිහින් බාරයක් වෙනව වගේ බ්ලොග් එක සින්ඩිකේටරේට ඇතුලත් වුනාම “අනේ බුදු අයියේ මාගේ බ්ලොග් එක අහවල් සින්ඩියට ඇතුල් කර ගත්තා වූ පිනෙන් මතු ආත්ම වල සියලු සැප සම්පත්ති ලබා කෙලවර අමා මහ නිවන් සම්පත්තියම ලැබේවා!!” වගේ පෝස්ට් එකක් ලියනව. එකෙක් දෙන්නෙක් මුලින් කරනකොට අනිත් උන් පෝලිමට. 

දෙක : ජ්‍යෙෂ්ඨ බ්ලොග්කාරයො “මැදිහත්” වෙලා “බේරගන්න” මේ බ්ලොගොස්ෆියරෙ කුලඟන සමිතියක්වත්, ෆැකල්ටියක්වත්, අහවල් ෆෝරම් එකක්වත් නෙමෙයි.  මේකෙ ‍බේරගන්න මොකෙක්වත් අමාරුවෙ වැටිලා නෑ. බ්ලොග් කියන්නෙ එකා එකා තමන්ට ලියන්න ඕන දෙයක් ලියන තැන් මිසක් එක එකා බැඳිච්ච එකට ඇලුන සිස්ටම් එකක් නෙමෙයි. එහෙම ඒවා හදාගෙන කුණුහරප එපා, දේසපාලනේ එපා, යුනිකෝඩ් නැතුව වෙන මොනවත් එපා වගේ බබා නීති දාගෙන හිටපු කාලයක් තිබුන. දැන් එහෙම ඒවා වැලිඩ් නැහැ. 

තුන : “අනේ ඉස්සර බ්ලොග්නං මාර හොඳයි. දැන් තමයි කබ්බො මේක කාලා තියෙන්නෙ” වගේ ආපු පාර දිහා බලාගෙන අධෝ මුඛයෙන් කතා කරන්න එපා. ඉස්සර කියල මාර හොඳ බ්ලොග්කාරයො හිටියෙ නැහැ. ඉස්සරත් මේ “කබ්බො” ප්‍රතිශතය මේ අගයම තමයි. වෙනසකට තියෙන්නෙ දැන් බ්ලොග්කාරයො වැඩි නිසා “කබ්බො” ප්‍රමාණයත් වැඩි වුන එක. තමන්ට විරුද්ධ අදහස් ලියපු එවුන්ව හොයල මරණ තර්ජන කරපු, කැලෑ පත්තර ගහපු, සෙට් එක දාලා මඩ ගහපු එවුන් ඉස්සරත් හිටිය. “ඉස්කෝලෙ ෆන්” කතා විතරක් ලියන ‍බ්ලොග් ප්‍රමාණය වැඩියි. හරියට බෙහෙත් මදි වුන දවසක පිස්සන් කොටුව ඇතුලෙ “ස” ප්‍රසංගය කරනව වගේ ඒ විකාර නිසා ‍වටිනා බ්ලොග් කිහිපයක් ඇහෙන්නැතුව ගිහින් තියෙනව. හැබැයි එහෙම කියල ඔය ජ්‍යෙෂ්ඨ බ්ලොග්කාර‍යොත් වටිනව කියල අමුතු ලබ්බක් ලිව්වෙ නැහැ. බ්ලොග් හොඳ වෙන්නෙ ලියන එකා අනුව. ඉස්සර ලිව්වද දැන් ලිව්වද කියන දේ අනුව නෙමෙයි. 

බ්ලොග් කරන්න. කඩේ යන්න එපා. 

So what Next?

අප ගැන කියන්නේ නම්, මේ සියල්ල මැද අප විසින් අන්තවාදී වෛරස වලට එරෙහිව, එයිනුදු විශේෂයෙන්ම ඉස්ලාම් ආක්‍රමණවාදයට එරෙහිව කතා කළ මෙහෙයුමේ තාවකාලික නැවත්මක් ලබා ගත්තේ අන්වර්ට බයේ වත්, ගෝඨාභයට බයේ වත්, වෙනත් හේතුවක් වත් නිසා නොව, බොහෝ බොගාලා සිතා සිටිනවාට වඩා වැඩ අපට ඇති බැවිණි. ඉසිඹුව අතර මැද කෙටි නිහැඬියාව මැද බොහෝ දේ සිදු වී තිබේ. ඒ සියල්ල ග්‍රහණය කරමින් යළි ආරම්භයක් ගැනීමට කාලය එළඹ ඇත. ඒ ආරම්භය කළින්ට වඩා දරුණු සහ ප්‍රචණ්ඩ ප්‍රහාර වලින් සමන්විත වන බව කල්තබාම කියන්නෙමු. මන්ද ඉස්සර මෙන් නොව, දැන් අපට වෙඩි තැබීමට කඳවුරු එකක් නොව තුනක් ඇති බැවිනි: මෙන්න ඒ තුන:

1. ඉස්ලාම් අන්තවාදී කඳවුර
2. සිංහල අන්තවාදී කඳවුර
3. බඩකඩුත්තු ඇනෝ බ්ලොග් කඳවුර

ඉවසන්න. සිසිල් පැන් විවේකයෙන් පසු තරගය නැවතත් ඇරඹේ.

Posted in සංවාද | ප්‍රතිචාර 6

එන්න, අපි කතන්දර අහමු | Come, let’s hear some stories

~ ~ ~ පළමු කතාව ~ ~ ~

යටගිය දවසැ මියුළු නුවරැ වේදේහ නම් රජ කෙනෙකුන් රජ කරන කල්හි, රජ තෙම මහෞෂධ නම් වූ සිය පඬිතුමන් සමග ඇතුළු නුවර උයනට යන්නා හ. උයන දොරැ තොරණෙහි වසන බොහොඬා, රජ්ජුරුවන් වඩින්නා දැක, හිස නමා ආචාර කෙළේ යැ. රජුද ඒ දැක තුටුපහටු වූ සිතැත්තේ, “රජුට කරන සේවය නොමිලේ නම් නොකළ යුතුය”යි දවස් පතා දෙවියට සමාරක් වූ රන් සම්මත මාංශ ආහාරයෙන් ඌ සන්තර්පණය කරන ලෙස රජ පුරුෂයකුට පැවරූහ. පුරුෂයාද රජ අණ පරිද්දෙන් දවස් පතා රත්රන් දෙවියැට සමාරක් වටනා මස් ඌට දෙන්නේය. 

උපෞෂත දිනයෙහි මස් වෙළෙඳාම් කරන තැනක් නොවූ හෙයින් පුරුෂයා ද නුවර මුළුල්ලේ ඇවිද වෙහෙසට පත්ව, මස් නොලද හෙයින් රත්රන් දෙවියැට සමාර කටුස්සාගේ කරේ බැන්දාහ. ඉන් මතු දිනෙක රජු ඒ පාරෙන්ම උයන් කෙළි පිණිස යන්නේ, වෙනදා හිස නමා ආචාර කරන බොහොඬා වෙනුවට, සාඩම්බරයෙන් උද්ධච්ච්ව හිස සලන කටුස්සෙකු දිටියෙ ල. “පෙර දා තොරණින් බැස ආචාර කරන බොහොඬා අද මෙසෙයින් මහන්තත්ත කම් පාන්නේ කවර හෙයින්ද”යි පඬිවරයා අතින් විචාරණ ලදුව, මහෞෂධ පණ්ඩිත තෙමේ මෙසේ කී ල. “මහරජ, පෙර වස්තු නැත්තා වූ බොහොඬා තොප දැක නිවට නියාළු ව ආසිරි කෙළේය. දැන් වේ මෙතෙම, ‘එම්බා වෙදෙහයෙනි, තෙපි තොප පමණට වස්තු ඇත්තේය; මම ද මා පමණට වස්තු ඇත්තෙමි. එසේ හෙයින් තොපට මා අඩු කිමෙක්ද’යි ඉක්ම සිතන්නේ ය”යි වදාළහ. 

අනුවර්තනය උම්මග්ග ජාතකය, කකන්ටක ප්‍රශ්නය ඇසුරෙනි.

~ ~ ~ දෙවන කතාව ~ ~ ~

“මගේ අයියා හැමදාමත් ඉහල පැලැන්තියේ ජීවිතයක් ගැන සිහින මවපු කෙනෙක්. අපේ වාසගම වන චිම්ෂා-හිමාලයිස්කි කියන නම පවා විහිළුවට ලක් වෙච්චි නමක්. ඒ නම තියෙන අපේ පරම්පරාවේ අනිත් උදවිය කවදාවත් සමාජයේ ඉහල තැනක් ගත්තු උදවිය නෙමේ. නමුත් අයියට තිබුණ එහෙම වෙන්න හීනයක්. 

අයිය රාජ්‍ය සේවෙට ඇතුළත් වුණේ නිකම්ම ලිපිකරුවෙක් විදියට. එතනත් හම්බ කරපු හැම සතේම කළේ ඉතිරි කරාපු එක. කොටින්ම නාන්න අඳින්න කන්න බොන්න වත් අයියට උනන්දුවක් තිබ්බේ නැහැ. හැමදාමත් අයිය කෙළේ තමුන්ගේ හීන මාලිගාවට ප්ලැන ඇඳපු එක. හැමදාමත් ඒ ප්ලැනේ තිබ්බේ කොටස් හතරයි. a. ගෙදර, b. සේවක නිවැසිය c. කුස්සිය d. ගූස්බෙරි පඳුරු ටික. අයිය පොඩි කාලේ ඉඳන් ගූස්බෙරි කන්න හරිම ආසයි. 

අයිය බැන්දේ මැරිච්චි ඉස්ටෙෂන් මාස්ටර් කෙනෙක්ගේ කනවන්දුමියක්. ඈට සල්ලි බාගේ හෙම බොහොම තිබ්බ. අයිය බැන්දත් හරි ඒ ගෑණු කෙනාට හරියට කන්න බොන්න වත් ලැබුණේ නැහැ. අන්තිමට ඈ හාමතේ මළා. අයිය ඒ සල්ලි ටිකත් ඉතුරු කරලා තමන්ගේ හීන මාළිගාව හැදුව අන්තිමට.

මම ගියා ඒ ගෙදරට ගිය සතියේ. පැක්ටෙරියකට අල්ලපු ඉඩමක්. ඉඩම අයිනෙන් ගලාපු ගඟ පොඩි කාලේ අපි දැකපු ගඟ වගේ නෙමේ, කළුම කලුයි. අයිය මහත්තයෙක් වෙලා. මුළු ගමම අයියව දන්නේ “චිම්ෂා-හිමාලයිස්කි මහත්තය” කියල. එදා විහිළුවක් වෙච්චි ඒ නම අද අයිය පාවිච්චි කරන්නේ හරිම ආඩම්බරෙන්! 

” මම දන්නව මිනිස්සුන්ව අල්ලේ නටවන හැටි. උන් කැරකෙන්නේ මගේ මේ ඇඟිල්ල වටේ.” අයිය සිය මහත ඇඟිලි කොටය කරකවන ගමන් කිව්ව. “වෙලාවකට උන් මගේ හැඩේට පඹයෝ හදල පුච්චනව. නමුත් පහුවෙනිද මගෙන් බොන බීර ගැලුමට උන්ට ඒ සේරම අමතකයි. මිනිස්සු තරහ කරගන්න එක වගේම ප්‍රශ්න අමතක කරවන එකත් කලාවක්!” අයිය බොහොම දාර්ශනික විලාසෙන් කියනව. මේ එදා රජයේ ලිපිකරුවෙක් වෙලා ඉද්දි ආණ්ඩුවට විරුද්ධව වචනයක් වත් නොකියාපු, ලොක්ක කියන හැමදේම බල්ල වාගෙ කොරාපු මගේ අයියද? මට නිනව්වක් නැතුව ගියා. 

මම ගියපු පලවෙනි දවසෙම තම අර වත්තේ ගූස්බෙරි වල පළදාව නෙළුවේ. ඒවා අරන් ආපු සේවකය ඒ ටික බන්දෙසියකින් අයිය ඉස්සරහ තියාල යන්ට ගියා. අයිය ඒ දිහා ඇස්ගෙඩි දෙක උරුක් කරන ආසාවෙන් වශී වෙලා බලා උන්නු හැටි මට මේ දැනුත් මැවී මැවී පේනව. 

“කාපං මල්ලි මෙව්වා හරිම රහයි!” එහෙම කියමින් අයිය ගූස්බෙරි අහුරක් අරන් කටේ දමා ගත්තේ ඇස්දෙක පියාන එහි රසය තළු මරමරා විඳින ගමන්. රහයි කිව්වට ඒ ගූස්බෙරි වල මෙලෝ රහක් නැහැ. කටටම ඇඹුලයි! අයිය නෙමේ ඒවා කණකට ගත්තේ. “නෑ නෑ මෙව්වා තම මගේ ජීවිතේටම කාපු රසම රස ගූස්බෙරි!” අයිය කිව්වා. 

අනුවර්තනය ඇන්ටන් චෙකොව් ගේ “මාදං” (gooseberries) කෙටිකතාව ඇසුරෙනි.



~ ~ ~ තුන්වන කතාව ~ ~ ~

“මේ අපරාධ කරුවන් දෙන්නා එසේ මෙසේ දෙන්නෙක් නෙමේ වොට්සන්. ඔවුන් ඉතාම වෘත්තීය හොරු. බලන්න එංගලන්තෙ තියෙන රජපවුල්, කෞතුකාගාර, පුරාණ වලව් වල විස්තර ඔවුන් හොයාගෙන තියෙන අපූරුව. ඔවුන්ගේ සපත්තු වල අඩිය පවා ෆෙල්ට් අල්ලපු අඩි. මේ වගේ හොරකමක් තනියෙම කරන්න බැහැ, ඔවුන්ට අනුග්‍රාහකයෙක් නැතිනම්”

“අනුග්‍රාහකයෙක්? ඔබ කියන්නේ ෂර්ලොක් මේ දෙන්නට අමතරව අප නොදන්නා තවත් කෙනෙක් ඉන්නවා කියන එක ද?”

“ඔව් වොට්සන්. අනිවාර්යයෙන්ම.”

“ඔබට බැරිද ඔහුට නමක් දෙන්න, ෂර්ලොක්?”

“නමක්? ඔව්, අපට නුදුරු අනාගතෙදීම නමක් දෙන්න බැරි වෙන එකක් නැහැ. ඒත් අපි දැනට ඔහුට ගිජු ලිහිණියා කියමු.”

“ගිජු ලිහිණියා??”

“ඔව් වොට්සන්. එක්තරා ලේඛකයකු ගේ කතාවලත් මේ වගේ පුද්ගලයකු ගැන සඳහන් වෙනවා. ඔහු බොහෝ විට ඉතාම දුප්පත් තැනකින් පටන්ගෙන ඉහළට ආපු කෙනෙක් වෙන්න ඕනේ. ඔහුට ආඩම්බර වෙන්න කියල කිසිම පවුල් පසුබිමක් නැහැ. ඔහුගේ පවුලේ ඥාතීන් ගැන හිතල ගර්වයෙන් බලන්න ඔහුට අතීතයක් නැහැ. අන්න ඒ නිසා එවැනි අතීතයක් ඇති අය සමග ඔහුගේ තිබෙනවා පුදුම ඊර්ෂ්‍යාවක්. බලන්න මේ හොරකම් කර තිබෙන දේවල්? මේවා සියල්ලක්ම බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැදගත්ම තැනක් හිමි ව සිටි පුද්ගලයන් පෞද්ගලිකව පරිහරණය කරපු දේවල්. මේව වෙන කොහෙවත් නැහැ. ඒ අතින් ගත්තම මේවා අමිල වස්තුන්.”

“අප ඔහු අල්ලා ගත යුතුයි ෂර්ලොක්!”

” අනිවාර්යයෙන්ම. නමුත් අප ඊට පෙර මේ හොරුන් දෙදෙනා අල්ලා ගත යුතුයි. මට හොඳටම විශ්වාසයි. මේ මොහොතේත් අපේ ගිජු ලිහිණියා තමා විසින් සොරකම් කරවන ලද භාණ්ඩ වලට මැදිවෙලා අපමණ සතුටක් ලබනවා ඇති.” 

අනුවර්තනය, ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිලිගේ “The case of Vanderbilt & Yeggman”  ඇසුරිණි.




~ ~ ~ අවසාන කතාව ~ ~ ~
” මම ණය ගන්නේ නොගෙවා ඉන්න නෙමේ අයිසේ! තමුසේ හිතුවද මම මේ ණය සල්ලි උයල කනවය කියල! පිස්සෙක්! මිනිහෝ, මේ ණය ගන්නේ ඇපල් ගන්න. ඒ ඇපල් ගෙඩි වලින් ලැබෙන ඇපල් ඇට පැළකලාම එන ඇපල් වත්තේ ආදායම ඇති ඔහේගේ ණය එකපාරට දහපාරක් ගෙවන්න. බොරුනම් අහපං මේ පාදිලි උන්නාන්සේගෙන්! “
අනුවර්තනය, අන්තෝනි ගාර්ෂියා ගේ “The apple man” කෙටිකතාව ඇසුරිණි.
Posted in සංවාද | ප්‍රතිචාර 2

රෙදි ගැලවීම | Denuding

රෙද්ද සහ රෙදි ගැලවීම
රෙද්ද යනු මේ සමාජයේ ඉතාම තහනම් වචනයකි. මීට මුලින් “අම්මගේ”, “ආච්චිගේ” වැනි පදයක් එක් වූ විට එය තවත් දරුණු වෙයි. සාමාන්‍යයෙන් අම්මගෙ රෙද්දට වඩා ආච්චිගෙ රෙද්ද සැර බවින් අඩුය. ඒ මන්දැයි අප නම් නිච්චියටම දන්නේ නැත. ආච්චිට වඩා අම්මා ළඟ නිසා හෝ, කා තුළත් සැඟවී ඇතැයි කියන ඊඩිපස් සංකීර්ණය සිහිපත් වන නිසා හෝ, මේ දෙකම නොවෙන වෙනත් දෙයක් නිසා එසේ වනවා විය හැක. මවුපස ඥාතීන්ගේ රෙද්ද ගැන කියනවා මිසක පියපස ඥාතීන්ගේ රෙද්ද ගැන කවරෙකුවත් කතා කරන්නේ නැත. සමහර විට නිරුවත, පිරිමි සමාජය තුළ සාමාන්‍යයීකරණය වී ඇති නිසා හෝ, ගැහැණු නිරුවත තරම් පිරිමි නිරුවතෙහි “පෙනෙන්ට දෙයක් නැති නිසා” හෝ විය හැක. නමුත් මේ කතාවට අදාළ ජීව විද්‍යාත්මක පසුබිම ගැන කීමට මේ තැන නොවේ.

රෙදි ගැලවීම ලැජ්ජාවකි. රෙදි අඳින්නේ විළිබිය ඇති නිසාය. එහෙත් ඒ එසේ වන්නේ නො-රහත් සමාජයකය. රහත් සමාජයක රෙද්ද තිබුණත් නැතත් ඉන් වන වෙනසක් නැත. එක අතකට රෙදි අඳින්නට බල කිරීමට කාටවත් අයිතියක් නැත. නමුත් අපි අපිම, අප ජීවත් වන සමාජයේ මිනිසුන් රහත් වී නැති බව සළකා ගනිමින්, රෙදි අඳින්නට ස්වයං-වාරණයක් පණවා ගනිමු. නීතියට කළ හැක්කේ ඊට යම් අවම සීමාවක් පැනවීම පමණි. මේ සීමාව, එක් එක් රටේ, ජාතියේ, ආගමේ, සංස්කෘතියේ ස්වභාවය අනුව වෙනස් වේ.

කවුරු කොහොම කීවත් රෙදි ගැලවීමද කලාවකි. මේ කලාව නොදනී නම් පවුල් ජීවිතය ගෙනයනවාට වඩා ලොවුතුරු සැප සෙවීම අගනේය. “ලොව ඇති සුන්දරම කවිය නිරුවත් ලිය සිරුරය” කියා ඔමාර් ඛයියාම් කීවේ එනිසා විය යුතුය. “සිහිනෙන් වත් ලියන් තන නොසිපියේ සිය මවගේ යොවුන් බැව් නමැති වනයට එල්ල කළ පොරෝ පහරකැයි” අලගියවන්න මුකවෙටියෝ කීහ. (ගැලවීම පමණක් නොව රෙදි ඇන්දවීමද කලාවකි; ඇඳගැනීම ද කලාවකි; ඒ ගැන පසුවට). රෙදි ගැලවීම යන පදයටද ලිංගික අර්ථයක් මෙන්ම ව්‍යන්ගාර්ථයක් ද තිබේ. ලිංගිකව ගත් විට රෙද්ද ගැලවීම යනු අනිකාගේ ලිංගික තෘප්තිය පිණිස සිය සිරුර සූදානම් කර දීමයි. මෙය නීත්‍යානුකූලව කරන විට ඊට කසාදය කියාද, නීතිවිරෝධීව කරන විට අවලම් කම කියාද කියති. රෙදි ගැලවීමට ගාස්තුව පිණිස යම් සන්තෝසමක් ලබා ගන්නේ නම් ඊට ගණිකා වෘත්තීය කියාද කියති. මෙය මුදල් ම වීම අත්‍යවශ්‍ය නැත. වැඩකරන ඔපීසියක නම් ලොක්කාගේ බුරුල, විශ්ව විද්‍යාලයක නම් ඉහල පන්ති සාමාර්ථ, නීති විරෝධී සමාජය තුළ නම් නීතියෙන් සහනය යනාදී විවිධ මුදල් පරිමාණ වලට මෙය කෙරේ. (වැඩකරන සමාජය තුළ ලෙහෙසියෙන්ම රෙදි ගැලවීමට ලක් වන්නේ, සමාජයටම අඳින්නට රෙදි මහන සන්නාලියන් වීමද බරපතල විරුද්ධාභාසයකි. )

මේ අනුව බලන විට රෙද්ද යනු හුදෙක් සෙලියුලෝස්, නයිලෝන් කෙඳිති එක්ව සෑදෙන වියමනක් පමණක් නොව, සමාජයීය වගකීමක් ද වේ. අප රෙදි අඳින මට්ටම හෝ ආකාරය ගැන තහංචි දැමීමට සමාජයට නීති සපයා දෙන්නෙ අපම වන බැවින් එහි දේශපාලනාර්ථයක් ද වෙයි. ඒ අර්ථයෙන් ගත්විට, රෙද්ද පමණක් නොව රෙදි ගැලවීමද දේශපාලන වැදගත්කමක් ඇති ක්‍රියාවකි. (දේශපාලනයේදීද රෙදි ගැලවීම් සිදු වේ. මෑතකදී විමලෙ මල්ලි සුජීව ගෙන් ප්‍රශ්න අහන්නට ගොස් රෙද්ද ගලවා ගත්තා කාටත් මතක ඇතැයි සිතමු).

මේ සොපහාසී ආරම්භය අප ලබා ගත්තේ මේ දිනවල රෙද්ද සහ හෙළුව දේශපාලන මුහුණුවරකින් කතා කරන නිසාය. කොටින්ම අමු හිංගලෙන් කියන්නේ නම් මීළඟ දේශපාලන ගුණ්ඩුව (වරහන් තුළ: ජනතාවට අන්දවන රෙද්ද) වන්නේ බුර්කාව නිසාය.

බුර්කාව (برقع‎ )

බුර්කාව, හිජාබය, නිකාබය, පර්දාව සහ අබායාව ආදී ඉස්ලාමික සම්භවයක් ඇති විව්ධාකාර ඇඳුම් තිබේ. ඉනුත්, මුළු ශරීරයම ආවරණය වන සේ අඳිනු ලබන කළු පැහැති ලෝගුවක් වැනි ඇඳුම, බුර්කාව ලෙස හඳුන්වනු ලැබේ.

කුරාණයේ බුර්කාව ගැන සඳහන් වන්නේ මෙසේය.

And tell the believing women to reduce [some] of their vision and guard their private parts and not expose their adornment except that which [necessarily] appears thereof and to wrap [a portion of] their head-covers over their chests and not expose their adornment except to their husbands, their fathers, their husbands’ fathers, their sons, their husbands’ sons, their brothers, their brothers’ sons, their sisters’ sons, their women, that which their right hands possess, or those male attendants having no physical desire, or children who are not yet aware of the private aspects of women. And let them not stamp their feet to make known what they conceal of their adornment. And turn to Allah in repentance, all of you, O believers, that you might succeed.—Surat An-Nūr (The Light) – سورة النور

පරිවර්තනය: තවද, සිය දර්ශනයෙන් (පෙනුමෙන්, රූපයෙන්) කොටසක්ද, රහස්‍ය අංගද ආවරණය කරගන්නා ලෙසත්, ස්වභාවයෙන්ම පෙනෙන අලංකරණ හැර වෙනත් කිසිවක් ප්‍රදර්ශනය නොකරන ලෙසත්, සිය හිස් ආවරණයෙන් කොටසක් ළය වැසෙන සේ පොරොවන ලෙසත්, සිය සුන්දරත්වය සිය සැමියා, පියා, සැමියාගේ පියා, පුතා, සැමියාගේ පුතා, සහෝදරයා, සහෝදරයාගේ පුතා, සහෝදරියගේ පුතා, ඔවුන්ගේ ගැහැණුන් (අඹුවන්), වහලුන් (lit. “මා මලකත් අයිමාන්’කුම්–දකුණු අතට අයත් අය: එනම් වහලුන්), ශාරීරික ආශාවක් නැති පිරිමි සහචරයන්, කාන්තා ශරීරය ගැන අවබෝධයක් නැති කුඩා දරුවන් හැර අන් උදවිය ඉදිරියේ  නොපෙන්වන ලෙසත්, විශ්වාසී (” මුසල්මානු “: මුස්ලිම් යන්නෙහි අරුත දේව භක්තික හෙවත් විශ්වාසී යන්නයි) කාන්තාවන්ට කියන්න. 



සාමාන්‍යයෙන් අන්තවාදී යයි හංවඩු ගසනු ලබන කුරාණය, මේ කාරණාවේදී ඉතාම තර්කානුකූල ප්‍රවේශයක් ලබාගෙන ඇති බව පෙනේ. කොටින්ම මේ හදිත් වැකියෙහි සරල සාරාංශය වන්නේ, සිය ශරීරය, අන් පිරිමියකුගේ කාමාශාව වර්ධනය කරවීමට අනුබල නොදෙන්න කියාය. “පිරිමින්ගේ පාප කඳට ගැහැනුන් දෝස විඳීම” අප අනුමත නොකළත්, සදාචාර සම්පන්න සහ රහත් නොවූ සමාජයක, පිරිමින්ගේ කාමාශාව උද්දීපනය නොකර සිටීමට ගැහැණුන් හට ඇති යුතුකම අප පිළිගන්නා බැවින් මේ වැකිය දෙස අප බලන්නේ උපේක්ෂා සහගතවය. ස්ත්‍රී ශරීරය තරම් පිරිමි සිත හාත්පසින්ම වෙලාගන්නා අන් කවර හෝ දෙයක් මම නොදකිමි යයි කීවේ නබි නොව බුදුන් ය. නාබිය නොදක්වා — සළු ඇඳ බොලට දක්වා — නොපව තන සක්වා — සිනා නොමසෙන් දසන් දක්වා යයි කියන තරමට සදාචාර වාදීන් සිටියත් මේ ලංකාවේ ගැහැණු සුද්දා එන්නට පෙර ඇන්දේ යටට පමණි. උඩට නොවේ. (සීගිරි ගැහැණු බ්‍රෙෂියර් ඇන්දේ නැත.) උඩුකය නිරාවරණව දළදා මැදුරට මල් ගෙනයන ගැහැණුන්ගේ චිත්‍රයක් මහනුවර කෞතුකාගාරයේ තිබේ. සූසැට බරණින් සැරසුණු පංච කල්‍යාණියකට මේ ලංකාවේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා යසට ආවගිය හැකි කාලයක් පැවතුණු බවද සිහිපත් කළයුතුය. ඊට හේතුව වන්නේ ලංකාවේ එවුන්ට ඇති ලිංගික බෙලහීනතාවක් හෝ, මහා අමුතු සදාචාරයක් නිසා හෝ නොවේ. ලිංගිකත්වය අපේ සමාජයේ වහංගු කොට නොතැබූ නිසාය. ඕනෙම නම්, දවල්ට පාරේ යන පංච කල්‍යාණිය දකින මිනිහා රෑට සිය බිරිඳ සමග පොඩ්ඩක් වැඩියෙන් සෙල්ලම් කරනු ඇත. කතාව එතනින් අහවරය.


සංවර ඇඳුමක් ලෙස, ලිංගික ප්‍රදේශ ආවරණය වන්නට අන්දපල්ලා යයි කී රෙද්ද, මුහුණ මතු නොව, ඇස් දෙක පවා වැසෙන තැනට ආවේ කෙසේද? මෙන්න ඊට පිළිතුර:

The correct view as indicated by the evidence is that the woman’s face is ‘awrah which must be covered. It is the most tempting part of her body, because what people look at most is the face, so the face is the greatest ‘awrah of a woman. [source]

මේ ලියන්නේ නබි නොවේ. මේ ලියන්නේ නබිගේ අහලකින්වත් තියන්නට බැරි උලෙයිමාවෙකි. අර බුකියේ ආදිවාසියා කියන පරිද්දෙන්, ගැටළු ඇතිවන්නේ ආගම් කර්තෘන් නිසා නොව, ඔවුන්ගේ සේල්ස් රෙප් ලා ගෙනි. ඔවුහු බුදුන්ට වඩා බුදුදහමද, ජේසුට වඩා කිතුණු දහමද, ක්‍රිෂ්නාට වඩා වේදයද, නබිට වඩා ඉස්ලාමයද දනිති. ඉස ගසාගෙන ජීවත් වන්නට බැරි මේ කාලකන්ණි සත්ත්ව විශේෂ නිසාය. ඔවුන්ගේ අතෘප්තකර කාමාශාව වර්ධනය වීමේ ලා ගැහැණු මුහුණක් වුව ප්‍රමාණවත් යයි මින් ගම්‍ය කරගත යුතු දේ  වන්නේය.


අපට පෙනෙන ආකාරයට නම්, හිස වැසෙන්නට ඇඳි පර්දාව, මුහුණ වැසෙන්නට ඇඳපු නිකාබයේ සිට හිජාබය සහ බුර්කාව දක්වා පරිණාමනය වීමේ ක්‍රියාවලිය එහෙම පිටින්ම පුරුෂ ලිංගික පද්ධතියේ බලපෑම මිසක, ස්ත්‍රී ලිංගික පද්ධතියේ බලපෑම නිසා සිදු වූවක් නොවන බව පෙනේ. ගැහැණුන්ට ඇඟ වැහෙන්ට අන්දන ගමන්ම, පිරිමින්ට හැඟුම් පාලනයත් ඉගැන්නුවා නම්, ඉස්ලාමය මේ කාරණාවේදී අතිවිශිෂ්ට වන්නට ඉඩ තිබිණි. නමුත් එහෙම එකක් නැත. ඉස්ලාමයේදී මේ කාරණාවේ බර එහෙම පිටින්ම දමා ඇත්තේ කාන්තාවගේ උර මතටය. අප හිජාබයට එරෙහි වන්නේ අන්න ඒ නිසාය. මන්ද මේ තුළින් ස්ත්‍රී දූෂණ වල වරද පවා ගැහැනියගේ පිට පටවා ඈ කස පහරට ලක් කිරීමට තරම් නිදහසක් සහ ආධිපත්‍යයක් පිරිමි සමාජයට ලැබෙන බැවිනි.

බුර්කා විරෝධය
අප අපේ ප්‍රස්තුත මාතෘකාවේ වැදගත්ම තැනට එන්නේ දැන්ය. එනම් බුර්කා විරෝධය දෙසටය.

කිසිම ආගමක වතාවත් වලට හෝ සිරිත් විරිත් වලට හෝ විරුද්ධ වීමට ඒ ආගමේ නොවන අප හට අයිතියක් නැත. මීට වසර ගණනකට පෙර “ටැබූ” නම් බ්ලොග් රචකයා සිය අවසන් ලිපියේදී කී වචන ටික මෙහි දක්වනු රිසියෙමි.

ශිෂ්ට සමාජයක ආගම යනු පුද්ගලයකු හා සම්බන්ධ අතිශයින් පෞද්ගලික දෙයකි. එය කෙනකුගේ රුචිය තේ වලටද, කෝපි වලටද නැතොත් කෝලා පානයකටද වැනි කාරණාවක් මිස සමාජයට අදාළ කටයුත්තක් නොවේ. කතෝලික පල්ලියක බිත්ති හතර තුළ වන දෙයක් වෙතොත් ඒ කතෝලිකයන්ට පමණක් අදාළ දෙයකි. (අදාළ කටයුත්ත නීති විරෝධී හා සමාජ විරෝධී වන්නේ නම් හැර) කුරාණයේ ඇති දෙයක් අදාළ වෙතොත් ඒ ඉස්ලාම් භක්තිකයින්ට පමණෙකි. A දෙයියාට වඩා B දෙයියා හොඳය; කාරුණිකය; බලසම්පන්නය වැනි කාරණා වාදයකට ගත යුතු මාතෘකා නොවේ. එක – A දෙයියාද, B දෙයියාද ඉන්නවාද නැද්ද වත් දන්නා කෙනෙක් වත් නොවෙති. ඔවුන්ගේ ශක්‍යතාවයන් තියා, පැවැත්ම වත් විද්‍යාගාරයකදී පරීක්ෂා කළ නොහැකිය. දෙක – හොඳ, කාරුණික බව, බල සම්පන්න බව යනාදිය අවාස්තවික (subjective) කාරණාය. තුන – A දෙයියා ඇත්තටම B දෙයියාට වඩා හොඳ වුවද, B දෙයියාගේ අනුගාමිකයින් එය පිළිගනීය සිතීම උගහටය. ආගමකට ආගමක් කියන්නේ එනිසාය.



ටැබූ ගේ දර්ශනය සමග අපට එරෙහි වන්නට බොහෝ දෑ තිබුණත් මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් සීයෙට සීයක් එකඟ විය හැකිය. මුස්ලිම් පල්ලියක සිදුවන යම් දෙයක් වේ නම් එය ඔවුන්ගේ බිත්ති හතර තුළ පමණක් සිදු වන දෙයකි. එය සමාජ විරෝධී ක්‍රියාවක් නම් හැර, අපට ඊට එරෙහි විය නොහැක. උදාහරණයක් ලෙස මුසල්මානුවන් ගේ හලාල් සහතිකය ගැන අපට විරුද්ධ විය නොහැක, නමුත් ඒ වෙනුවෙන් අපෙන් මුදල් අයකරගැනීමට අපට විරුද්ධ විය හැක. ඔවුන්ගේ වතාවත් වලට අපට විරුද්ධ විය නොහැකි වුණත්, ඔවුන්ගේ යාඥා වෙලාවල් වල කෙරෙන කන්කරච්චලයට අපට විරුද්ධ විය හැක. හිජාබය ගැනද එසේමැයි.

මෙහිදී අපි අන්ත දෙකක් දකිමු. එකක් නම් වරෙක අපේ රටේ ද කළුතර කැලිඩෝ වෙරළෙහි අරින්නට ගිය නිරුවත් වෙරළයි. ඒ ගැන අපේ මිත්‍ර මාලන් සමරවික්‍රම සජීවී වාර්තාවක් “හැන්දෑව” හරහා ඉදිරිපත් කළා අපට මතකය. දෙවැන්න හිජාබයයි. නිරුවත් වෙරළෙහි ඇඳුම් නැත. සැවොම නිරුවතින් හිරු රැස් සුව විඳිති. රමණයේ යෙදෙනු කැමැත්තෝ එසේ කරති. රැල්ල පාගනු කැමැත්තෝ එසේ කරති. එයද එක්තරා සුන්දර දෙයකි. එහෙත් ගැටළුව අපේ රටේ සංස්කෘතියට එය නොගැලපීම කෙසේ වෙතත් අපේ අයියලාගේ අහවල් එකේ පාලනයක් නැති වීමයි. අප ඉන්නේ හිජාබය සහ නිර්වස්ත්‍ර භාවය අතර මැද සාධනීය තැනකය. අර කී අන්ත දෙකම අපට හුදෙක් අන්තවාද පමණි.

එසේනම් හිජාබයට / බුර්කාවට විරුද්ධ වීමට අපට අයිතියක් තිබේද? මා සිතන්නේ එසේ විරුද්ධ වීමක් වේ නම් එය මතුවිය යුත්තේ මුස්ල්මානු සමාජය තුළින්ම මිස ඊට පිටතින් නොවේ යනුවෙනි. එසේ විරුද්ධ වන්නන් නොවේ යයි කාටවත් කිව නොහැකිය. මුස්ලිම් ෂරියා නීතියේ අලුත්ම බිල්ල වන ඊජිප්තුව තුළ, ඇඳුම් පැළඳුම් වාරණයට එරෙහිව, අලියා-මහ්දා-එල්-මාහ්දී නම් තරුණ කාන්තාව, සිය නිරුවත් චායාරූප ප්‍රසිද්ධියේම සිය බ්ලොග් අඩවියේ පලකලාය. ඈට සහය දැක්වීමට ගිය අනිකුත් අයට විවිධ හිංසන වලට ලක්වීමට සිදු විය. එහෙත් ඉන් හිජාබයට එරෙහි ජනමතයක් ගොඩ නැගුණු බව පිළිගත යුතුය.

එහෙත් හැමදාමත් වාගෙ බොදුබල සේනා මෙහිදී පොලිස්කාරයාගේ චරිතය සිය කැමැත්තෙන්ම අතට ගෙන තිබේ. වෙන මොකක් සිදු වුණත්, නූනත්, මින් සිදුවන්නේ ඇත්තටම බුර්කාවට විරුද්ධ මුස්ලිම් ප්‍රජාව පවා, ඒ විරෝධය යටපත් කරගෙන “මේන්ස්ට්‍රීම් එකට” එකතු වීම බව අපේ අයියලාට තේරෙන්නේ නැත. එබැවින් අපට කළ හැකි එකම දේ සාධුකාරයක් දී බලා සිටීම පමණි.

Posted in බුර්කා, සංවාද | ප්‍රතිචාර 29

ජිනීවා සහ ජංගි | Geneva and Panties

සෑහෙන කාලෙකින් යමක් නොලීවේ වැඩ වැඩි කම නිසාම නොවේ. ලියන්නට ගියොත් කුණුහරුප ලියවේ යයි බය නිසාය. නැතිනම් මඩිස්සේ නිශාන් ගෙන ආයෙමත් අහගන්නට වෙනවාය. කෙසේ වෙතත් අද වැනි ඓතිහාසික දවසක නොලියන ලිපි ආයේ කවදා නම් ලියන්නද යයි ද සිතේ. ඒ නිසා ලියමි. 

උඩින් මොන හොඳ හිත පෙන්නුවත් ඉන්දියාව හැමදාමත් කෙළේ අපට වල කපන එකය. එසේ වෙන්නේ ඇයිදැයි ඇසුවහොත් දෙන්නට ඇති හොඳම පිළිතුර ඉතිහාසය කියවා බැලීමයි. උදාහරණයක් ලෙස රාම රාවණ යුද්ධය ගත හැකිය. රාවණා ශ්‍රේෂ්ට පාලකයකු වී යයි රාමායණය ලී වාල්මිකියෝම පවසති. එහෙත් රාම රඝු වංශිකයෙකි. කැත්කුල සම්මත රාමා, මිනීමරුවකු කෙළේ බමුණු අන්තවාදය මිස වෙන දෙයක් නොවේ.

නමුත් රාම රාවණ යුද්ධය අහවර වී යුග ගණනක් ගිහිණුත් ඉන්දියාවට රාවණා නරකය, රාම හොඳය. සුර්පනඛා යකින්නියක වූ පලියට ඇගේ නහය, කන් කැපු රාම හොඳය. රාවනා දෙස මුහුණ නොබැලු සීතාවගේ පතිවත ඔප්පු කරන්නට ගින්දර මැද්දෙන් ඇවිද්දවූ රාම හොඳය. එහෙමත් කරපු ගැහැණිය, රට්ටුන්ගේ කතා වලට බයේ කාලයට පිටුවහල් කල රාම හොඳය. ඒ ඔක්කොමත් මදිවාට, ශුද්‍රයකු තාපසකම් කල වරදට ඔහු ගෙල කපා මරාදැමූ රාම දෙවියෙකි. රාවණා යකෙකි.

පසුගිය දින කීපය තුළ මේ වෛරී දේශපාලනයේ තවත් ජවනිකාවක් තිරගත විය. එනම් සිංහල බෞද්ධ භික්ෂුන් ඉලක්ක කරගත් පහර දීමය. මේ වනාහි ලංකාවේ දමිළයන් ගැන බඩ පපුව පිපිරෙන්නට කෑමොර දෙන, එහෙත් කුලය නිසා එක මේසයේ වාඩි ගන්නට අකමැති, ලංකාවේ දමිළ කාන්තාවන් ගේ ආරක්ෂාව ගැන කෑමොර දෙන, එහෙත් සිය රටේදී ගැහැණුන් සමූහ දූෂණයට ලක්කොට මරාදමන, බලය සඳහා සිය පක්ෂය මෙන්ම පිළිවෙතද පාවාදෙමින් තමිල්නාඩුවේ යකා නටන කරුණානිධි සහ ජයලලිතා ප්‍රමුඛ බළල් අත්වල LTTE නපුංසක පො*** (පොළොංගු) න්ගේ තවත් හපන් කමකි. 


මෙන්න ඒ වීඩියෝව:

මේ කම්මුල් පහර ඔබටයි! රටට විණ කරන තුරන් කෙළ කෝටියක් සිටියදී නිතිනින්දේ නිදිවදින ඔබටයි!! රට වෙනුවෙන් කරන්නට දහසක් දේ තිබියදී ඒ දේ නොකළ ඔබටයි!!! 

මේ සිද්ධියෙන් පසුව අපේ යතිවරයාණන් වහන්සේද හැසිරුණු විදිය ඉතාම ප්‍රශස්තය. “අසවලා මට බැන්නේය, ගැසුවේය, මා පරාජය කෙළේය, මා සතු දේ ගත්තේය.. මෙසේ යමෙක් සිතමින් එල්බෙමින් යන්නේද ඔහුගේ වෛරය නොසන්සිඳේ.. අසවලා මට බැන්නේය, ගැසුවේය, මා පරාජය කෙළේය, මා සතු දේ ගත්තේය.. මෙසේ යමෙක් සිතමින් එල්බෙමින් යන්නේද ඔහුගේ වෛරය සන්සිඳේ. වෛරයෙන් වෛරය කිසිදා සමථ වන්නේ නැත. වෛරය සමථ වන්නේ අවෛරයෙන්ම පමණි. මෙය සනාතන දහමකි.” යන බුදු බණ ආදර්ශනීය ලෙස පිලිපමින් උන් වහන්සේ හැසිරුණහ. (වෙන උන්දෙලා නම් මෙලාකට සිවුර කරේ තියාන කෑගහමින් ඉන්දියානු කොඩි ගිණි තබනවා නියතය). අන්න ඒ නිසා මේ පහර කෑමට ලක් වූ වතුපොල වංගීස නම් වූ යතිවරයාණන්ට අපේ උත්තමාචාරය පුද කරමු. 

බුද්ධ පුත්‍රයන් වහන්ස! බලු රැළක් මැදට මැදිව ජාතියේ නාමයෙන් පහර ඉවසා දරාගත් ඔබ වහන්සේට අපේ ශ්‍රද්ධා භක්ති පූර්වක දණ්ඩ නමස්කාරය මෙසේ පුද කරමු. එමෙන්ම, හැංගි හැංගී මෙවැනි පො*** (පොළොන්) තගරි දමන තමිල්නාඩු අයියලා මෙහෙම නොවේ, කොහොම කීවත්, මේ රට කවමදාකවත් දෙකඩ කරන්නේ නැති බව, ඇට මස් ලේ නහර මතු නොව, දිවි හිමියෙන් ප්‍රතිඥා දෙමු. 




විය යුතුම පරිද්දෙන් මේ සිද්ධිය සියලු ලාංකිකයන්ගේ කන හරහා ගැසූ පහරක් විය. නමුත් මේ සිද්ධිය වෙත විවිධ බෞද්ධ සංවිධාන පිළිතුරු දුන්නේ විවිධාකාර ක්‍රම වලටය. පුදුමයකට මෙන් මේ සිද්ධියේ දී ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණය කරන්නට සිහල රාවය සමත් විය. කුලියාපිටියේදී කතෝලික නිවසකට කඩාපැන යකා නැටු සිංහල රාවයෙන් එවැනි සාධනීය දෙයක් මේ ලියන මා නම් කිසිදිනෙක බලාපොරොත්තු වුණේ නැත. එහෙත් කළ හොඳ වැඩය අගය කරන ගමන්ම, මෙන්න මේ ටිකද කිව යුතුය. තමිල්නාඩුවේ දී භික්ෂුන්ට පහර දීම වැරදි නම්, එදා කුලියාපිටියේදී සිංහල රාවය කළ දේ හරිය කියන්නටද බැරිය. 

හලාල් සිද්ධිය හරහා තරුවක් වූ බොදු බල සේනා නම් කෙළේ ඉතාම හාස්‍යජනක ප්‍රකාශයකි. විහිලුව චොර කරන්නේ නැතිව මෙන්න ඔරිමජිනල් වර්ෂන් එක. 

පසුගිය දින කිහිපයේ ඉන්දියාවේ දී ශ‍්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමකට පහරදීමේ සිද්ධින්වලට අන්තවාදී මුස්ලිම් කල්ලියක් සම්බන්ධ වී ඇති බවට සැකයක් මතුවී ඇතැයි බොදු බල සේනා සංවිධානය පවසයි. ඒ සම්බන්ධයෙන් කරුණු හෙළි කිරීම සඳහා අද (19) පෙරවරු 10.30 ට බොදු බල සේනා මුලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඇතැයි ද එම සංවිධානයේ ප්‍රධානියකු ‘මිරර්’වෙත පැවසිය. [source link]

මේ කතාව විහිළුවක් වන්නේ, මේ ප්‍රකාශය කරන කෙනා, පසුගිය දශක ගණනක සිට ඉන්දියාව අර අඳින්නේ මොකාටදැයි හාංකවිසියක් වත් දන්නේ නැති බබෙකු ගේ ගානට කතා කරන නිසාය. 

අන්න ඒ බබාලා සියල්ලටම බලාගන්නත් එක්කම, ඉන්දියාව අද සමස්ත ලෝකය හමුවේ සිය ජංගිය ගළවා නිරුවත පෙන්වා තිබේ. මේ ක්‍රියාවලියේ වීරවරිය වන්නේ නවනීදන් පිල්ලේ නම් මානව හිමිකම් කමිටු සභාපතිනියයි.

නවනීදන් පිල්ලෛ


සුපුරුදු පරිදි ඉන්දියාවේ කුණකටු ප්‍රතිපත්තිය නිසා අද ශ්‍රී ලංකාව UNHRC හෙවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් පරාජයට පත්විය. උතුරු නැගෙනහිර යුද්ධයේදී LTTE ත්‍රස්තයන් සමග නිදි වැදි ජෙයලලිතා ප්‍රමුඛ සුනඛයන්ගේ සහ කෙලෙහිගුණ නොදත් සෝනියා ගාන්ධිගේ අබලන්කම නිසා, අසල්වැසි ලඟම ඥාතියා වන (හිකිස්) ඉන්දියාව ප්‍රමුඛ රටවල් 25ක් එරෙහිවද, “හම්බ” පාකිස්ථානය ප්‍රමුඛ රටවල් 13ක් පක්ෂවද, රටවල් 8ක නිර්චන්දයෙන්ද ලංකාවට එරෙහි තුට්ටු දෙකේ යෝජනාව (හෙවත් නවනීදම් පිල්ලෙයි ගේ මාස්ටර් ප්ලෑන) දිනා තිබේ. උතුරු නැගෙනහිර යුද්ධයේදී සිදුවූ යුද අපරාධ පිළිබඳව අපක්ෂපාතී සහ විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට බල කෙරෙන යෝජනාවකි, ඒ.

ඉන්දියාව වෙනුවෙන් බිරුම් හඬ දුන් ඉන්දීය නියෝජිත දිලිප් සිංහා කියා සිටියේ “අන්තර්ජාතික ප්‍රජාවට පිළිගත හැකි මට්ටමේ විශ්වසනීය පරීක්ෂණයක් අවශ්‍ය බව සහ ලාංකීය දමිළ ජනතාවද ඇතුළුව සියල්ලන්ටම පිළිගත හැකි දේශපාලන විසඳුමක් ගෙන එම සඳහා ලංකාවට බල කලයුතු බවත්”ය. ගොනා හැරෙන්නේ මොන පොල් පැලෙටදැයි දැන් තවත් අටුවා ටීකා අනවශ්‍යය. බලය උදෙසා මිනිස්සු නොකරන දෙයක් නැත. සිය සැමියාගේ මිනීමරුවන් හට දඬුවම් දුන් අපට වඩා සෝනියා ගාන්ධිට ලලිතා ලොකුය. කමක් නැත, ඒ දේශපාලනයේ හැටිය. දේශපාලනයේ දී සදාකාලික සතුරන් හෝ සදාකාලික මිතුරන් නැත. ඉන්දීය දේශපාලනයේ සිනමා මැරයා වන ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් හෙවත් DMK පක්ෂය මේ යෝජනාව ගැන “සිය පූර්ණ නොසතුට” පළකළේය. ඔවුන්ට අනුව “පූර්ණ” සතුටුදායක විසඳුම කුමක්දැයි අපට නොතේරෙන්නේ නැත. 


මේ ටික වන බව අපි දැන සිටියෙමු. දැන් ප්‍රශ්නය වන්නේ ඊළඟට වන්නේ කුමක්ද යන්නයි. 

මේ තීරණාත්මක මොහොතේ චීනය ප්‍රමුඛ සමාජවාදී රටවලට අමතරව අප සමග සිටියේ “හම්බ” රටවල් වන මාලදිවයින සහ පකිස්ථානයයි. “ලංකාවේ ස්වෛරී භාවය ආරක්ෂා කිරීම සඳහා චීනය මින් ඉදිරියටත් සියලු සහයෝගය ලබාදෙන බව” චීනය පැවසීය. ඉන්දියාවේ දේශපාලන අර්බුද වවාගෙන කන්නට කරන මේ කූටෝපක්‍රමය හෙළා දැකිය යුතු බව පකිස්ථානයේ මතය විය. (හලාල් සටනින් තරුවක් වූ අහවල් සේනාවට, ගෙවල් වලට පැන බයිබල් පොළොවේ ගහන අහවල් රාවයට, සීතාවකට මුස්ලිම් පල්ලි එපාය කී අහවල් සහෝදරත්වයට දැන් මේවත් හලාල් දැයි පැහැදිලි කිරීමට සිදු වනු ඇත.)

කෙසේ වෙතත් කතාවේ දෙපැත්තක් ඇත. මරාන්ඩුවට කිසිම ලැදිකමක් නැති අපද, මේ මොහොතේ මරාන්ඩුව සමග ඉන්නේ, මොකා හෝ රට කරවන එකා රැකගත යුතු බැවිනි. නැතිනම් ඇහැලේපොළ නාඩගම ඉතිහාසය තුළ යළිත් වරක් රඟ දැක්වෙනු ඇති බැවිනි. යුධ අපරාධ චෝදනාව සදහටම පරාජය කරන්න නම් සෑහෙන මහන්සියක් වියදම් කොට අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුය. නමුත් ලෝකයේ යුද ජයග්‍රහණ වලින් දිනු අනිත් රටවලටත් මේ උදවිය මේ දේ කියාවිද? උදාහරණයක් ලෙස ඇමරිකාවේ යුද ජයග්‍රහණ වලින් පසු ඔවුන්ගේ සිර කරුවන්ට සැලකු හැටි ගැන පරීක්ෂණ කරන්නට සමත් හු වෙත්ද? නැත. මේ ඉල්ලන්නේ සාධාරණ පරීක්ෂණයක් නොව, ප්‍රභා මරපු උන්ගේ ලේ දීපිය කියාය.

නමුත් එහෙමයි කියා මේ රටේ කිසිම මානව හිමිකමක් කඩවුයේ නැතැයි කටක් ඇර කීමට අපට නම් බැරිය. ප්‍රගීත් එක්නැලිගොඩ ආගිය අතක් නැත. ලසන්ත වික්‍රමතුංග ආයේ කවදාවත් එන්නේ නැත. ටැබූට බ්ලොග වසා දමා යන්ට විය. මැරවින් ලා, දුමියා ලා ඉන්නේ මේ රටේය. සාරුව සුනිල් සහ සුදර්මන් රදලියගම තාමත් යහතින්ය. යුද්දේ දිනලා දීපු සරත් ෆොන්සේකාට සිදු වුයේ හිරබත් කන්ටය. ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවන ලදී. පී බී අබේසුන්දරයා තාමත් ෂෝයි එකට සිටී. කොටින්ගේ අහුවුණා කී රත්රන් කොහෙවත් නැත. කටුගේ/ දුටුගැමුණු කඩුව, රාවණ උමග, ළඟදීම උස්සන් ගිය පින්නවල මහා ඇතා, මේ සියල්ල මේ රෙජීමයේ කුණුය. 

වැරදි හදාගෙන ගොඩ යන්ට තවත් අවස්ථාවක් රෙජීමයට ලැබී තිබේ. මේ සමහර විට අන්තිම අවස්ථාව වන්ට පිළිවනි. කණේ පාර සැර වුණත් එයිනුදු ඉගෙන ගන්නට දෙයක් තිබේ. මේ අවස්ථාව වත් ප්‍රයෝජනයට ගෙන මේ රට ඇත්තටම හැදේවා යයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. 

Posted in සංවාද | ප්‍රතිචාර 19